රක්ෂිත බන්ධනාගාරගත කළ අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෙකු අනීතිකව නිදහස් කළා යැයි කියන සිද්ධියට අදාළව සිදු කරන විමර්ශන යටතේ එම බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු ඊයේ දිනයේ අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී අධිකරණය නියෝග කළේ සැකකාර බන්ධනාගාර අධිකාරිවරයා හෙට දිනය තෙක් බන්ධනාගාර ගත කරන ලෙසයි.

ඒ අනුව ඔහු බන්ධනාගාරගත කළ යුතු වන්නේ අනුරාධපුර බන්ධනාගාරයේ වුවත් ඔහුගේ ජීවිත ආරක්ෂාව ගැන සිතා දුම්බර බන්ධනාගාරයේ රැඳවූ බවත් බන්ධනාගාර ආරංචි පැවසුවා.

ඒ අනුව සැකකාර බන්ධනාගාර අධිකාරිවරයා දුම්බර බන්ධනාගාරයේ කිසිදු රැඳවියෙකුට නොගැටෙන සේ වෙනම වාට්ටුවක රඳවා තිබෙනවා.

මේ අතර අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවෙකු අනිතිකව නිදහස් කිරීමට අදාළව සිදු කරන විමර්ශනවලට අදාළව බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම් ගාමිණී දිසානායක මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

ඊයේ පස්වරු 03.00ට පමණ බන්ධනාගාර කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා පැය 06ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

හෙට දිනයේ ද ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දන්වා ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වුණා.