තම ශරීරය තුල තැන්පත් කර තිබූ උපත් පාලන ලූපයක් ඉවත් කර ගැනීමට සිය වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණි විසි පස් හැවිරිිදි එක්දරු තරුණ මවකගේ ලූපය ඉවත් කරන මුවාවෙන් ඇය දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ වරදකරු වී 15 වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වූ වෛද්‍යවරයා සම්බන්ධයෙන් ආයතන මට්ටමින් නිසි ක්‍රියාමාර්ග ගෙන ඒ බව අධිකරණයට දැනුම් දෙන ලෙස අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා ශ්‍රි ලංකා ජාතික වෛද්‍ය සභාවේ සභාපතිවරයාට ලිඛිතව නියෝග කළා. 15 වසරක බරපතල වැඩ සහිත සිර දඬුවමට අමතරව පැමිණිළිකාර 25 හැවිරිදි එක්දරු මවට මුදලින් රුපියල් ලක්ෂ පහළොවක් වන්දි වශයෙන් ගෙවන ලෙසටද විත්තිකාර වෛද්‍යවරයාට මීට පෙර නියෝග කල මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් ඔහුට තවත් වසර තුනක සිර දඬුවමක්ද නියම කරනු ලැබීය. ඊට අමතරව මුදලින් රුපියල් ලක්ෂයක දඩයක් ගෙවන ලෙසටද විත්තිකාර වෛද්‍යවරයාට තවදුරටත් නියෝග කල මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා එම දඩු මුදල ගෙවීම විත්තිකරු පැහැර හරින්න්නේ නම් ඔහුට තවත් වසරක සිර දඬුවමක්ද නියම කර තිබෙනවා. බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වීමෙන් අනතුරුව දැනට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින අනුරාධපුර තිසාවැව අංක 70 ලිපිනයේ පදිංචි විජේකෝන් විජේරත්න නැමති වෛද්‍යවරයෙකි. විත්තිකරු අනුරාධපුර තිසාවැව ප්‍රදේශයේ පවත්වා ගෙන යන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේදී මෙම වරද සිදු කර ඇති බව අධිකරණ නඩු විභාගයේදී අනාවණ විය. 2020 වසරේ ජනවාරි මස 20 වන දා හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් තිසාවැව පිහිටි සිය තම වෛද්‍ය මධ්‍යස්ථානයේදී මෙම වරද සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් 1995 අංක 12 දරණ දන්ඩ නීති සංග්‍රහ (සංශෝධිත) පනතේ 364 (1) වගන්තිය ප්‍රකාරව විත්තිකාර වෛද්‍යවරයාට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණා. අනුරාධපර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය කේ එන් සී සේනානායක මහතා ඇතුළු නව දෙනෙකු මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටියා. පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ අධිනීතිඥ ගිම්හානි හිරුණිකා පෙරේරා මහත්මිය සමඟ රජයේ අධිනීතිඥ ගීත්මි රණතුංග මහත්මිය පෙනී සිටි අතර විත්තිකාර වෛද්‍යවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා පෙනී සිටියේය. විත්තිකාර වෛද්‍යවරයා කලක් අනුරාධපුර ශික්ෂණ රෝහල සහ රනවරාව රෝහල ඇතුළු රජයේ රෝහල් ගණනාවක සේවය කර ඇත. උතුරු මැද පළාතේ අධිකරණයකින් අපරාධමය වරදකට වෛද්‍යවරයෙකුට මෙවැනි බරපතල සිර දඬුවමක් නියම කල ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. එවකට අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාව සිටි සංජීව මහනාම මහතාගේ උපදෙස් පරිදි මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන මෙහෙයවා තිබෙනවා.