මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධ සඳහා ඇතැම් රාජ්‍ය ආයතනවල සහාය ලැබී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
එම තත්ත්වය මුළුමනින්ම අවසන් නොකොට රටක් ලෙස ඉදිරියට යාමට නොහැකි බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවති රත්නපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින්.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කර ඇත්තේ රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්රතිලාභ ජනතාවට ලබා දීමේ අතරමැදි යාන්ත්‍රණය ලෙස රාජ්‍ය නිලධාරීන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙන බවයි.
එමෙන්ම සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් මෙම මූල්‍ය වර්ෂයට වෙන් කළ ප්‍රතිපාදන නැවත භාණ්ඩාගාරයට හරවා නොයැවීමට වගබලා ගන්නා ලෙසයි ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ.
එයින් අවශ්‍ය සංවර්ධනය සිදු නොවන අතරම, මුදල් නාස්තියක් ද සිදුවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම එකම ව්‍යාපෘතිය වෙනුවෙන් නැවත නැවත මුදල් වෙන් කිරිමට සිදු වීමෙන් නව ව්‍යාපෘති ආරම්භ කිරීමට නොහැකි තත්වයක් උද්ගත වන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී පවසා ඇත්තේ.
පසුගිය කාලයේදී රජයේ ව්‍යාපෘති ලෙස ඉදිකිරීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇතත්, එහි ශක්‍යතාව සහ නඩත්තුව සම්බන්ධයෙන් නිසි ඇගයුමක් සිදු නොකිරීම නිසා, එමගින් රජයට අමතර වැය බරක් එකතු වී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
එලෙස, ඉදිකර තිබෙන හම්බන්තොට සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය, අනුරාධපුර ශ්‍රවණාගාරය වැනි ගොඩනැගිලි ගණනාවක නඩත්තුව දරා ගත නොහැකි වීම හේතුවෙන් ඒවා භාර ගැනීමට ආයතනයක් නොමැති තත්ත්වයට පත්ව ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.
එසේම, රජයෙන් ඉදිකරන ලද සංචාරක බංගලා, තානායම්, පොදු වෙළෙඳ සංකීර්ණ වැනි ගොඩනැගිලි පාළු අඳුරු ස්ථාන බවට පත්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එවැනි ආයතන පෞද්ගලික අංශයේ කළමනාකාරීත්වය යටතේ පවත්වාගෙන යාම වර්තමානයට වඩාත් ගැළපෙන ක්‍රමවේදය බවද වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.




