මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි ජියුන් චුන්ග් මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදුව තිබෙනවා.

එහිදී අමෙරිකානු තානාපතිනිය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කරනු ලබන සාම බලකා අධ්‍යාපන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන පිළිබඳවත්, අනෙකුත් සහයෝගීතා වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳවත් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම “ෆුල්බ්‍රයිට්” ජාත්‍යන්තර ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන මගින් දෙරට අතර අධ්‍යාපනික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳවත් එහිදී අවධාරණය කර තිබෙනවා.

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සූදානම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව සහ ජාතික අධ්‍යාපන ආයතනය යන ක්ෂේත්‍රයන්හි තාක්ෂණික විශේෂඥතා සහාය වැඩි කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව එහිදී අග්‍රාමාත්‍යවරිය විසින් අවධාරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.