ඉතිහාසයේ දීර්ඝතම අමෙරිකානු රජය අකර්මන්‍යවීම නිමාවට පත් කරමින් සංශෝධිත වියදම් කෙටුම්පතකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.

ඒ, අදාළ පනත් කෙටුම්පත කොංග්‍රස් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ඡන්ද 222කින් සම්මතවිමත් සමගයි.

අදාළ පනත් කෙටුම්පත සම්මතවී පැය දෙකකට ආසන්න කාලයක් තුළ අමෙරිකානු ජනාධිපතිවරයා ඊට අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව රජයේ කටයුතු සක්‍රීයවීම හේතුවෙන් රැකියා අහිමි වූ ෆෙඩරල් සේවකයින් දහස් ගණනකට යළි රැකියා සදහා පැමිණීමට අවස්ථාව උදාවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය ඔක්තෝම්බර් පළමු වනදා සිට අමෙරිකානු රජයේ කටයුතු අත්හිටුවීමට සිදුවුණේ පාලක රිපබ්ලිකන් පක්ෂය ඉදිරිපත් කළ අරමුදල් පැකේජයක් සෙනට් මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත කිරීම, ඩිමොක්‍රටික් පක්ෂය විසින් අවහිර කිරීමත් සමගයි.

ඒ අනුව අමෙරිකා එක්සත් ජනපද රජයේ කටයුතු ඔක්තෝම්බර් පළමු වනදා සිට නිල වශයෙන් වසා දැමීමට සිදුවුණා.

අමෙරිකාවේ කොන්ග්‍රස් මණ්ඩලයේ බහුතර බලය පාලක රිපබ්ලිකන් පක්ෂය සතු වුවද සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඩිමොක්‍රටික් පක්ෂයට හිමිව ඇති බැවින් එලෙස අදාල අරමුදල අවහිර කිරීමට හැකි වුණා.

ඒ හේතුවෙන් ෆෙඩරල් සේවකයින් දහස් ගණනක වැටුප් අහිමිවීම හෝ සේවයෙන් ඉවත් කිරීම වැනි ගැටළුවලට මුහුණපෑමට සිදුවුණා.

ඒ හේතුවෙන් අදාළ කාලසීමාව තුළ ගුවන් ගමන් වාර 3,200 ක් පමණ අවලංගු කිරීමට සිදුවූ අතර තවත් ගුවන් ගමන් වාර දස දහසක් පමණ ප්‍රමාද වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

රජයේ කටයුතු අවහිර කිරීම අවසන් කර රජයට අරමුදල් සැපයීමට අදාළ පනතක් එක්සත් ජනපද සෙනට් සභාව විසින් සම්මත කිරීමත් සමග එම පනත් කෙටුම්පත අනුමැතිය සදහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඊට අනුමැතිය හිමිවීමෙන් පසුවයි අමෙරිකානු රජයේ කටයුතු යළි සක්‍රීය කිරිමට අවස්ථාව හිමි වුණේ. අරමුදල් අත්හිටුවීම හේතුවෙන් අමෙරිකානු රජයේ කටයුතු අක්‍රීය වූ දීර්ඝතම කාලය ලෙසටද මෙය ඉතිහාසයට එක් වුණා.

මීට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු නිල කාලයේදී සිදුවූ දින 35 ක් පුරා රජයේ කටයුතු අකර්මන්‍යවීම අමෙරිකානු ඉතිහාසයේ මීට පෙර පැවති දීර්ඝතම රාජ්‍ය අකර්මන්‍යවීම ලෙස වාර්තා වී තිබෙනවා.