අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ නව තීරු බදු අඩු කර ගැනීමේදී කිසිදු පොරොන්දුවක් හෝ කොන්දේසියක් ශ්‍රී ලංකා පාර්ශවයෙන් ලබා නොදුන් බව මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසනවා.

ඔහු කියා සිටියේ දෙරටට බලපාන බදු ප්‍රතිශත සම්බන්ධයෙන් පමණක් එහිදී පුළුල් ලෙස අවධානයට ලක් වූ බවයි.

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ බදු අඩු කළද, නව බදු හරහා රටේ විවිධ ක්ෂේත්‍රවලට සිදුවන බලපෑම පිළිබඳ තවදුරටත් දැඩි අවධානයකින් කටයුතු කිරීමට රජය තීරණය කර ඇති බවයි ලේකම්වරයා පැවසුවේ.

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ නව තීරු බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය දැක්වීම සඳහා රජයේ ප්‍රවෘත්ති දේපාර්තමේන්තුවේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ වුණා.

ශ්‍රී ලංකාව විසින් අමෙරිකාව සඳහා වන බදු ඉහළ දැමීමක් සිදු කළහොත් දැනට අඩු කළ බදු යළි ඉහළ නංවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කෙරුණා.