ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් අඩු ආදායම් ලාබීන්ට ලබා දෙන රුපියල් ලක්ෂ දහයේ නිවාස ණය අනුමත කරගැනීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 25,000ක අල්ලසක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නියාගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන නිලධාරියා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසම මගින් අත් අඩංගුවට ගත් රනිල් ජයවර්ධන නමැති මෙම සැකකරු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංක එස් බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කළා.
ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බව නියම කළා.
සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් මෙහිදී මහේස්ත්රාත්වරයා විසින් සැකකරුට අවවාද කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඩු ආදායම් ලාභීන්ට ලබා දෙන රුපියල් ලක්ෂ දහයේ නිවාස ණය ලබාදීම අනුමත කිරීම සඳහා මෙම සැකකරු රුපියල් 25,000ක අල්ලස් මුදල පැමිණිලිකරු ගෙන් ලබාගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බවයි.
මෙම වැටලීමෙන් පසුව මෙම සැකකරු පලාගිය බවත් ඉන් පසුව ප්රාදේශීය ලේකම් විසින් දුරකථන මාර්ගයෙන් ඔහුව සම්බන්ධ කර දීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගත් බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් පැවසුවා.
සිද්ධියට අදාල විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීම් කළා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශෙහාන් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු මේ වන විට ඇප මත මුදාහැර තිබෙන බව පැවසුවා.
මෙම සැකකරු විමර්ශන කටයුතු වලට බාධා සිදු කර නොමැති බවත් ඔහු විමර්ශනවලට සහාය ලබාදීමට සූදානම් බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.