රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ සිදු කරන ප්‍රධාන ප්‍රතිසංස්කරණයක් ලෙස එක්සත් රාජධානියේ සියලුම මැතිවරණවලදී වයස අවුරුදු 16 සහ 17 පසුවන දරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදීමට සැලසුම් කර ඇති බව බි්‍රතාන්‍ය රජය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එය යෝජිත වෙනස්කම් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මහජන විශ්වාසය ඉහළ නැංවීමේ ප්‍රයත්නයක කොටසක් බවයි බි්‍රතාන්‍ය රජය පවසා ඇත්තේ.

ස්කොට්ලන්තයේ සහ වේල්සයේ බලය පැවරී ඇති මැතිවරණ සඳහා තරුණ ඡන්දදායකයින් දැනටමත් සහභාගී වන බවත් බි්‍රතාන්‍යය පුරා ඡන්ද අයිතිය පෙළගස්වන බවත් ඒ සඳහා හේතු සාධක ලෙස බි්‍රතාන්‍ය රජය පෙන්වා දී තිබෙනවා.

එම වයස් සීමාවේ පසුවන්නන් රැකියාවල නිරත වීමට හා බදු ගෙවීමට තරම් ප්‍රමාණවත් වයස් සීමාවේ සිටින බැවින් එම වයස් සීමාවේ පසුවන්නන්ට ඔවුන්ගේ මුදල් වියදම් කිරීමට, රජය යා යුත්තේ කුමන මාර්ගයේ ද යන්න ප්‍රකාශ කිරීමට අවස්ථාව තිබිය යුතු බවයි බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් පවසා ඇත්තේ. කෙසේවෙතත් මෙම යෝජනාව සඳහා බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වනවා.

ඉකුත් මහ මැතිවරණයෙන් ස්ටාමර්ගේ ප්‍රතිපත්ති ජයග්‍රහණය කිරීම හමුවේ ඒ සඳහා අනුමැතිය ලබාගැනීම ඔහුට අභියෝගයක් නොවනු ඇති බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දී ඇත්තේ.

එහෙත් බි්‍රතාන්‍ය මුහුණ පා සිටින දුෂ්කර ආර්ථික පසුබිමකට එරෙහිව පිහිටුවා ඇති වැරදි පියවර මාලාවකින් පසු ස්ටාර්මර්ගේ ජනප්‍රියතාවය රජය තුළ තියුණු ලෙස පහත වැටී ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙනවා.

නිල දත්තවලට අනුව එක්සත් රාජධානියේ සිටින වයස අවුරුදු 16 සහ 17 වයස්වල ළමුන් ගණන මිලියන 1යි දශම 6ක්.

පසුගිය මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා බි්‍රතාන්‍යයේ මිලියන 48කට අධික ජනතාවක් සුදුසුකම් ලබා සිටියා.

එරට මීළඟ මැතිවරණය 2029 වසරේදී පැවැත්වීමට නියමිතයි.