පාසල් නිවාඩු කාලයේ උපකාරක පන්ති පවත්වන මුවාවෙන් තුන වසරේ දැරියකට ලිංගික අපයෝජන කළ ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කිහිපයක් යොදවා ඇතැයි දඹුල්ල මූලස්ථාන පොලිසියන පවසනවා.

ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් දඹුල්ල කොට්ඨාශයේ ප්‍රාථමික විදුහලක තුන්වැනි වසරේ පන්තියකට දරුවන්ට උගන්වන ගුරුවරයකුට එම වසරේම ඉගෙන ගන්න සිසුවියකට ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවට එම දරුවාගේ දෙමව්පියන් දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කොට තිබෙනවා.

පාසල් නිවාඩු සමයේ නොමිලේ පාසල තුළම උපකාරක පන්ති පැවැත්වීම එම ගුරුවරයා විසින් සිදුකරගෙන යනු ලබන බවත් ඒ සඳහා පැමිණි දරුවන් හට ඉගැන්වීම් කටයුතු සිදුකරන අවස්ථාවේ දී මෙම ගුරුවරයා එක දරුවෙකු ඔහුගේ ඔඩොක්කුවට රැගෙන අතවරය සිදුකර තිබෙන බව පොලිසිය පවසනවා.

පැමිණිල්ල අනුව ගුරුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය උත්සාහයක් දැරුවද ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් විජේසුන්දර මහතා සඳහන් කර තිබෙනවා.

දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා නිලූකා විජේසුන්දර මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් ගුරුවරයා පදිංචිව සිටින නාඋල ප්‍රදේශයට ගොස් පරීක්ෂා කොට තිබෙනවා.

ඔහුගේ ජංගම දුරකථනයද ක්‍රියා විරහිතකොට ඇති බවත් ඔහුගේ ඇමතුම් වලට ගුරුවරයාගේ බිරිඳ බව කියන අයෙකු ඇමතුම් ලබා ගැනීම සිදුකර නැවතත් දුරකථනය විසන්ධි කරන බව පොලිසිය පවසනවා.

මෙම පැමිණිල්ල පිළිබඳව විධිමත් පරීක්ෂණ පවත්වා සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වන විටත් යොදවා තිබෙන බව මුලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතා සඳහන් කර සිටියා.