Published
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා ඊට වරදකරු කෙරුණු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිර දඬුවම් නියම කළා.
ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව විසා නිකුත් කිරීමේ පැරැණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් අගෝස්තු මස දෙවනදා ආගමන හා විගමන පාලකවරයා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
එම අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහිව එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්දිරන්, රවූෆ් හකිම් සහ පාටලී චම්පික රණවක යන මහත්වරු විසින් මෙම පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව වග උත්තරකරුට එරෙහිව 2024 අංක 08 දරණ අධිකරණයකට, විනිශ්චාධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධ පනත යටතේ චෝදනා ගොනු කෙරුණා.
ඒ අනුව වග උත්තරකාර ආගමන හා විගමන පාලකවරයා ඉකුත් වසරේ සැප්තැම්බර් මස 25 වනදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළා.
මෙම චෝදනා විවෘත අධිකරණයේ කියවනු ලැබූ අවස්ථාවේදී තමන් එම චෝදනාවලට තමා නිවැරදිකරු බව වග උත්තර කරු මුලින් ප්‍රකාශ කර තිබුණා.
ඒ අනුව සාක්ෂි සටහන් කර ගැනීම ආරම්භ වුණා.
එහිදී සාක්ෂි දුන් ආගමන හා විගමන පාලක දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කටයුතු භාර නියෝජ්‍ය කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ නිකුත් කළ විද්‍යුත් විසා නිකුත් කිරීමේ පැරණි ක්‍රමය යලි ක්‍රියාවට නංවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කරන ලෙස වග උත්තරකාර ආගමන හා විගමන පාලකවරයා විසින් තමන්ට උපදෙස් ලබා නොදුන් බවයි.
ඉන් පසුව මෙම නඩුකරය ඉකුත් ජූලි මස 01 වනදා විභාගයට ගත් අවස්ථාවේදී අදාල චෝදනාවලට නිවැරදි කරු යැයි තමන් කලින් ඉදිරිපත් කළ විත්ති වාචකය ඉවත් කරා ගන්නා බවත් තමන් අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බවත් වග උත්තරකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා.
ඉන් අනතුරුව නඩු විභාගය අවසන් කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එහි තීන්දුව ප්‍රකාශ කිරීම අද දින දක්වා කල් තිබුණා.
ඉන් අනතුරුව අද දින තීන්දුව ප්‍රකාශයට පත්කරමින් යසන්ත කෝදාගොඩ විනිසුරුවරයා සඳහන් කළේ මෙම ක්‍රියාව තුළින් විත්තිකරු අධිකරණයට බරපතල අපහාසයක් සිදු කර ඇති බව සඳහන් කළා.
මුලින් නිවැරදිකරු යැයි සිය විත්තිවාචකය ඉදිරිපත් කළ විත්තිකරු තමන්ට එරෙහිව සාක්ෂි ඉදිරිපත් වීමෙන් පසුව එය ඉවත් කරගෙන උපක්‍රමශීලී ලෙස වරද පිළිගන්නා බව අධිකරණය හමුවේ දැනුම් දුන් බවත්
විනිසුරුවරයා පෙන්වා දුන්නා.
අදාළ පනතට අනුව වසර හතක සිර දඬුවමක් නියම කිරීමට අධිකරණයට බලය පැවරී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම විත්තිකරු රිමාන්ඞ් භාරයේ පසුව කාලයද සැලකිල්ලට ගෙන විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර ඉන් ඔහු රිමාන්ඩ් භාරයේ පසුවූ වසරක කාලය අඩු කොට ඔහුට වසර දෙකක සිර දඬුවමක් නියම කරන බවත් තීන්දුව දෙමින් විනිසුරුවරයා ප්‍රකාශ කළා.
එහෙත් එම සිර දඬුවම අත්හිටුවීමක් නොකරන බවත් විනිසුරුවරයා වැඩිදුරටත් අවධාරණය කළා.
පුද්ගලයින් විසින් ඉදිරියේදී මෙවැනි වරදවල් සිදුකිරීම සඳහා පෙළඹීම වැළැක්වීම සඳහා මතක හිටින පාඩමක් වශයෙන් මෙම දඬුවම නියම කරන බවත් විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළා