දිට්වා සුළි කුනාටුව හේතුවෙන් ඇතිවූ ආපදා අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අපොහොසත් වීම තුළින් රජය සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මහනුවර ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

නීතිඥ කීර්ති බණ්ඩාර කිරිදෙන මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ජාතික ආපදා කළමනාකරණ කමිටුවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ තම නීතිඥ කාර්යාලය මහනුවර අධිකරණ සංකීර්ණයට යාබදව පිහිටා තිබෙන බවත් පසුගිය දිනවල ඇති වූ සුළි කුණාටු හා ගංවතුර තත්ත්වය හේතුවෙන් එම කාර්යාලය සම්පූර්ණයෙන්ම විනාශයට පත්වූ බවයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස සිය පරිගණක පද්ධතියේ තිබූ වැදගත් දත්ත රැසක් විනාශයට පත් වී ඇති බවත් මේ හේතුවෙන් සිය වෘත්තියට දැඩි පාඩුවක් සිදුවී ඇති බවත් ඔහු කියා සිටි.

ආපදා තත්වයක් ඇතිවීමට පෙර ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වග උත්තරකරුවන්ගේ නොසැලකිලීමත්භාවය හෝ රාජකාරිය පැහැර හැරීම හේතුවෙන් මෙවැනි විනාශකාරී තත්ත්වයක් උද්ගත වූ බවත් ඔවුන් පෙර සූදානමින් කටයුතු කර තිබුණේ නම් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට හැකියාව තිබූ බවත් පෙත්සම්කරු කියා සිටි.

විශේෂයෙන්ම කොත්මලේ ජලාශයේ ජලය මුදා හැරීමට පෙර ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළේ නම් ගම්පොල, ගලහ , පේරාදෙණිය සහ මහනුවර යන ප්‍රදේශවල ජලගැලීම් හේතුවෙන් සිදුවූ දැවැන්ත හානි අවම කර ගැනීමට හැකියාව තිබූ බවත් පෙත්සම්කරු කියා සිටි.

වග උත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය නිසා මෙම ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ විනාශය උත්සන්න වූ බවත් ඔහු චෝදනා කරනවා.

ඒ අනුව වග උත්තර කරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.