දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 355ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පෙරවරු 09ට නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ අතුරුදන් වූ පුද්ගලයින් ගණන 366ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ආපදා හේතුවෙන් පවුල් තුන් ලක්ෂ 18,252ක පුද්ගලයින් එකොළොස් ලක්ෂ 56,860 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවද එම වාර්තාවේ දැක්වෙනවා.

ආරක්‍ෂිත මධ්‍යස්ථාන 1,529ක රඳවා සිටින පුද්ගලයින් දෙලක්ෂ 9,568ක්.

මේ අතර, පැවති වැසි තත්ත්වයේ අඩුවීමක් අද සහ හෙට දිනවලදී අපේක්‍ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

දිට්වා සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වුණේ.

ඒ අනුව ශ්‍රී ලංකාව එම පද්ධතියේ බලපෑමෙන් තවදුරටත් ඉවත් වෙමින් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

දෙසැම්බර් මස 03 වනදායින් පසු දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ.