අධිවේගී මාර්ගවල ධාවනය වන මගී ප්‍රවාහන බස් රථවල ගමන් ගන්නා මගීන් ආසන පටි පැළඳීම හෙට සිට අනිවාර්ය කෙරුණද ඊට සහන කාලයක් ලබා දෙන බවට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති, ඉංජිනේරු පී ඒ චන්ද්‍රපාල මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ආසන පටි පැළඳීම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාදීමට එලෙස සහන කාලයක් ලබා දෙන බවයි.

අධිවේගී මාර්ගවල ධාවනය වන මගී ප්‍රවාහන බස් රථවල ගමන් ගන්නා මගීන් ආසන පටි පැළඳීම නීතියක් ලෙස ක්‍රියාත්මක වන්නේ කවදා සිටදැයි නෙත් නිවුස් මෙහිදී ප්‍රශ්න කළා.

බස් රථවලට අමතරව සාමාන්‍ය වාහන සඳහාද ආසන පටි සවි කිරීමේදී ගැටලු පැන නගින්නේ නම් තාක්‍ෂණික ඇතුළු අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථවල මගීන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිත බවටයි වාර්තා වුණේ.