ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේදී සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් 10 දෙනෙකුගේ මෘත දේහයන් අද පෙරවරුවේ තංගල්ල නගර ශාලාව වෙත රැගෙන එනු ලැබුවා. එහිදී ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව එම මෘත දේහයන් පවුල්වල ඥාතීන්ට භාරදුන් බවයි තංගල්ල නගර සභාවේ සභාපති පී පී ජී නන්දසිරි මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ. අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඇතුළු දේශපාලඥයින් කිහිපදෙනෙකු සහ රජයේ නිලධාරීන් පිරිසක්ද එම මෘත දේහයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා තංගල්ල නගර ශාලාව වෙත පැමිණි බවද ඔහු කියා සිටියා.

බස් රථ අනතුරෙන් ජීවිතක්‍ෂයට පත්වූවන්ගේ මෘත දේහයන් තංගල්ලට රැගෙන ඒම සඳහා ඇල්ල ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයන් සමූහයක් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කෙරුණා. තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩලයේ පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විනෝද චාරිකාවක් සඳහා පැමිණි බස් රථයක් ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරළී එම අනතුර සිදුවුණා. එහිදී පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වුණා. තුවාල ලබා රෝහල්ගත කළ පිරිසේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් බදුල්ල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අදහස් පළ කළා. අනතුරට ලක්වූ පිරිස බේරාගැනීම සඳහා සෞඛ්‍ය කාර්යමණ්ඩලය සහ ප්‍රදේශ වාසීන් කළ මැදිහත්වීම සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළේ මෙලෙසයි. මේ අතර අනතුරෙන් මිය ගිය අය වෙනුවෙන් වන්දි ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබෙනවා. ඒ අනුව ජීවිතක්ෂයට පත්වූ එක් අයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමටයි තීරණය කර ඇත්තේ. මේ අතර අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරළුණු බස් රථයේ කොටස් අද පෙරවරුවේ ඉන් පිටතට ගනු ලැබුවා. මේ වන විට එම බස් රථයේ කොටස් ඇල්ල පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් යටතේ විමර්ශන ක්‍රියාත්මකයි.