ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තීරණාත්මක තරඟයෙන් විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ, ඇෆ්ගනිස්ථානය කඩුලු 06කින් පරාජයට පත් කරමින්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතව ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ සුපිරි හතර දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරඟාවලියෙන් ඉවතට විසි වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය හේතුවෙන් බංග්ලාදේශයට ද සුපිරි හතර දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුණා. ඊයේ රාත්‍රියේ පැවති තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර විස්සේදී කඩුලු 08ක් දැවී ලකුණු 169ක් රැස්කළා. තරඟය පුරා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් පාලනය කිරීමට හැකි වුණා. ඒ අනුව පන්දුවාර 18ක් අවසන් වන තුරුත් ඇෆ්ගනිස්ථානය රැස්කරගෙන සිටියේ ලකුණු 120ක් පමණයි. දුෂ්මන්ත චමීර යැවූ 19 වන පන්දු වාරයට ලකුණු 17ක් රැස්කර ගත් මොහොමඩ් නබී, දුනිත් වෙල්ලාලගේ යැවූ 20 වන පන්දුවාරයට ලකුණු 31ක් රැස්කර ගත්තේ පිට පිට හයේ පහර 05ක් එල්ල කරමින්. මොහොමඩ් නබී දැවී ගියේ පන්දු 22කදී වේගවත් ලකුණු 60ක් රැස්කර ගනිමින්. ලකුණු 170ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් සිය ඉලක්කය පසුකර ගියේ පන්දුවාර 18යි පන්දු 04කදීයි. දක්ෂ පිති හරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 74ක් රැස්කළා. තරඟය අවසානයේ, තරඟයේ වීරයා සම්මාන දිනාගත් කුසල් මෙන්ඩිස් මාධ්‍ය වෙත අදහස් පළ කළා.
තරඟයේ අවසන් පන්දු වාරයට ලකුණු 31ක් රැස්කර ගැනීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී කුසල් මෙන්ඩිස්ගෙන් ප්‍රශ්න කළා. මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි හතර දෙනාගේ වටය හෙට ආරම්භ වනවා. පළමු තරඟය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරයි. මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයේ අවසන් තරඟය ඉන්දියාව සහ ඕමානය අතර අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි. Published