වසර 54කට පසුව මිනිසුන් සහිත යානයක් සඳ වටා ගොස් පෘථිවියට පැමිණෙන ඓතිහාසික 'ආටෙමිස් 2' මෙහෙයුම මීට නොබෝ වේලාවකට පෙර සාර්ථකව අවසන් වුණා.

​ගගනගාමීන් හතර දෙනා රැගත් නාසා ආයතනයේ 'ඔරායන්' කැප්සියුලය පෘථිවියට පතිත වූයේ ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 5:37 ටයි.

සැලසුම් කර තිබුණු පරිදීම සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට කැප්සූලය ආරක්ෂිතව පතිත වුණා.

මෙය ඉතා නිවැරදිව "පොතේ හැටියටම" සිදුවූ ගොඩබැසීමක් ලෙසයි නාසා ආයතනය හඳුන්වන්නේ.

ගගනගාමීන් හතර දෙනාම නිරෝගීව සහ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව යානය සාගරයට පතිත වූ වහාම එහි ප්‍රධානී රීඩ් වයිස්මන් තහවුරු කළා.

​යානය පෘථිවි වායුගෝලයට ඇතුළු වූයේ පැයට සැතපුම් 25000ක වේගයකින්.

ඒ සමග ඇතිවූ අධික තාපය හේතුවෙන් පෘථිවි පාලන මධ්‍යස්ථානය සහ යානය අතර පවතින සන්නිවේදනය මිනිත්තු 6කට සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා.

කලින් සැලසුම් කර තිබූ නමුත් මෙය ඉතාමත් පීඩනයක් ගෙන දෙන මොහොතක් වු බවයි මෙහෙයුමට සම්බන්ධ වූවන් කියා සිටියේ.

යානය එම අදියර පසු කිරීම මහත් සැනසුමක් ගෙන ආ බවද ඔවුන් පැවසුවා.

පැරෂූට මගෙන් වේගය පාලනය කරමින් යානය අවසානයේදී සාගරය මත පතිත වූයේ ​පැයට සැතපුම් 20ක වේගයෙන්.

මෙලෙස සාගරයට පතිත වූ යානය ස්ථාවරව තබා ගැනීම සඳහා එහි උඩ කොටසේ තිබූ විශාල තැඹිලි පැහැති වායු බැලූන පහක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වුණා.

අමෙරිකානු නාවික හමුදාවේ කිමිදුම්කරුවන් සහ හෙලිකොප්ටර් යානා ගගනගාමින් සහිත යානය අසලට ළඟා වී ගගනගාමින් බේරා ගැනීමේ මෙහෙයුම ආරම්භ වූයේ ඉන් අනතුරුවයි.

'ආටෙමිස් 2' මෙම මෙහෙයුමේදී ගගනගාමීන් පෘථිවියේ සිට සැතපුම් දෙලක්ෂ පනස් දෙදහස් හත්සිය පනස් හයක් (252,756) දුරින් ගමන් කරමින්, මිනිසෙකු අභ්‍යවකාශයේ ගමන් කළ වැඩිම දුර පිළිබඳ වාර්තාව අලුත් කිරීමට සමත් වුණා.

මෙහෙයුම් අවසානයේ ​සතුටින් ඉපිලී ගිය නාසා පරිපාලක ජැරඩ් අයිසැක්මන් පැවසුවේ, "අපි නැවතත් ගගනගාමීන්ව සඳ වෙත යැවීමේ සහ ඔවුන්ව ආරක්ෂිතව ගෙන ඒමේ ව්‍යාපාරයට අවතීර්ණ වී සිටිනවා" කියායි.

"මෙය ආරම්භයක් පමණක්" බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර කොලොම්බියා අනුස්මරණ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැස්ව සිටි සිටි 600කට වැඩි පිරිසක් මෙම ඓතිහාසික මොහොත සමරමින් තවමත් ප්‍රීති ඝෝෂා පවත්වන බවයි විදෙස් වාර්තා පවසන්නේ.