අමෙරිකාවේ නිව්යෝක්හි නව නගරාධිපතිවරයා ලෙස තේරී පත් වූ සොහ්රාන් මම්දානි සිය ජයග්‍රහණය සමරමින් සිදුකළ කතාවේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝග කරන ආකාරයේ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. නිව්යෝක් නගරාධිපතිවරයා ජයග්‍රාහී රැළිය අමතමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම අවස්ථාව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නරඹන බව තමන් දන්නා බැවින් ඔහුට කීමට වචන හතරක් ඇති බවයි. “ටර්න් ද වොලියුම් අප්” නැතහොත් ශබ්දය වැඩි කරන්න යනුවෙන් සොහ්රාන් මම්දානි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත එහිදී පවසා තිබෙනවා. බදු සහන සූරා කෑමේ දූෂණ සංස්කෘතිය අවසන් කරන බවද නිව්යෝක් නගරාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.
අමෙරිකානු දේශපාලනයේ සුවිශේෂී දිනයක් බවට පත් කරමින් එරට විශාලම නගරය වන නිව්යෝර්ක්හි නගරාධිපති ධූරයට සොහ්රාන් මම්දානි අද තේරී පත් වුණේ එම තනතුරට පත් වූ පළමු මුස්ලිම් ජාතිකයා ලෙසද ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින්. 34 හැවිරිදි වියේ පසුවන මම්දානි නිව්යෝක් නගරාධිපති ධූරයට පත් වූ ලාබාලතම පුද්ගලයා ලෙසද වාර්තා අතරට එක් වුණා.
ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස නිව්යෝර්ක් නගරාධිපති ධුරය සඳහා තරඟ වැදුනු මම්දානි ඊයේ පැවැති ඡන්ද විමසීමේදී හිටපු ආණ්ඩුකාරවරයෙක්ද වන ස්වාධීන අපේක්ෂක ඇන්ඩෲ කූමෝයි පරාජයට පත් කරමින් මෙම ජයග්‍රහණය වාර්තා කළා.
ඉන්දු - අමෙරිකානු සම්භවයක් සහිත සොහ්රාන් මම්දානි, සුප්‍රකට ඉන්දීය සිනමා අධ්යක්ෂවරියක වන මීරා නායර්ගේ පුත්‍රයා ද වනවා.
සොහ්රාන් මම්දානි මෙලෙස නගරාධිපති ධූරයට පත් වුණේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනතුරු ඇඟවීමක් ද කර තිබියදී වීම විශේෂත්වයක්. යම් හෙයකින් මම්දානි නිව්යෝර්ක් නගරාධිපති ධුරයට පත් වුවහොත්, නගරයට ලබාදෙන රජයේ අරමුදල් සීමා කරන බවට අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා. කෙසේවෙතත් “ප්රජාතන්ත්රවාදී සමාජවාදියා” ලෙස තමන් හඳුන්වා දෙමින් මම්දානි සිය මැතිවරණ ප්රචාරක ව්‍යාපරය ක්‍රියාත්මක කරමින් මෙම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.
සොහ්රාන් මම්දානි මීට මාස කිහිපයකට පෙර එතරම් ජනප්‍රිය පුද්ගලයෙකු නොවූ අතර සමාජ වැඩසටහන් සඳහා කෝටිපතියන්ගෙන් බදු අයකර ගන්නා බවට ඔහු විසින් පොරොන්දු ලබාදීමත් සමග කෙටි කලක් තුළ අතිශය ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත්වීම විශේෂත්වයක්.




