ඉන්දියාවේ 79වන නිදහස් දිනය අදයි. ඒ වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේ නීතිවිරෝධී සංක්‍රමණිකයින්ගෙන් එල්ල වන අනතුරු වලින් රට ආරක්ෂා කිරීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් ආරම්භ කරන බවයි. නීතිවිරෝධී සංක්‍රමණ රට තුළ ඉහළ යමින් ඇති බවත් ඉන්දියානු පුරවැසියන්ගේ මුවාවෙන් ජීවත් වන විදේශීය ජාතිකයන් හඳුනා ගැනීම සඳහා දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ඔහු පවසා තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙහිදී පකිස්ථානයටද අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ, ත්‍රස්තවාදීන් සහ ඔවුන්ට ආරක්‍ෂිත ස්ථාන සපයන අයට ඒ හා සමානව ප්‍රතිචාර දක්වන බව පවසමින්. පකිස්ථානයෙන් අනාගතයේදී සිදු වන ඕනෑම අකටයුත්තකට එරෙහිව පියවර ගැනීම පිළිබඳ ඉන්දීය සන්නද්ධ හමුදා තීරණය කර ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී අනතුරු අඟව තිබෙනවා. ආර්ථිකමය වශයෙන් එල්ල වෙමින් ඇති අභියෝග සම්බන්ධව ඔහු මෙහිදී අදහස් දක්වා ඇති අතර එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ ඕනෑම ජාතියකට ආර්ථික සහ ආරක්‍ෂක ක්ෂේත්‍රයන්ගේ ආත්ම ගෞරවයක් හා ස්වයං විශ්වාසයක් පවතින බවයි. එම ස්වයං විශ්වාසය ආනයන අපනයන සඳහා පමණක් නොව රටේ ශක්තීන් හා හැකියාවන් සමගද සම්බන්ද වන බවයි නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් පවසා ඇත්තේ.