ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කාර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මුට ලබාදී ඇති බවයි එරට මාධ්‍ය පවසන්නේ.

මේ වන විට 74 වන හැවිරිදි වියේ පසු වන ජග්දීප් ධන්කාර් සෞඛ්‍ය ගැටලු සහ වෛද්‍ය උපදෙස් පිළිපැදීමේ අවශ්‍යතාවය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

2022 වසරේදී ඉන්දීය උප ජනාධිපති ධුරයට පත් වූ ජග්දීප් ධන්කාර්ගේ ධූර කාලය නිමාවීමට තිබුණේ 2027 වසරේදීයි.

ඒ අනුව ඔහු ඉල්ලා අස්වී ඇත්තේ ධුර කාලය අවසන් වීමට වසර දෙකක් ඉතිරිව තිබියදීයි.

කෙසේ වෙතත් ඉන්දීය උප ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඉන්දීය රජය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබුවහොත් ඉන්දියාවේ දෙවන ඉහළම තනතුර සඳහා හදිසි මැතිවරණයක් පැවැත්වෙනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

ඒ සඳහා ඡන්දය දීමට සුදුසුකම් ලබන්නේ ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකෙහි මන්ත්‍රීවරුන් පමණයි.