ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ දකුණු කොරියාවේ නව විදේශ අමාත්‍ය චෝ හ්යුන් අතර හමුවක් සිදුව තිබේ. අළුතින් පත්වූ දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයාගේ පළමු ඉන්දීය සංචාරය මෙයයි. ඔහුගේ මෙම ඉන්දීය සංචාරයේදී අර්ධ සන්නායක, කෘතිම බුද්ධිය, පිරිසිදු බලශක්තිය, නැව් තැනීම සහ ආරක්ෂක නිෂ්පාදන වැනි අති නවීන අංශවල සහයෝගිතාව පුළුල් කිරීමට දෙපාර්ශ්වය එකඟත්වය පළ කර තිබේ. මෙම හමුව ඉන්දීය - කොරියානු ජනරජයේ විශේෂ උපායමාර්ගික හවුල්කාරිත්වයේ 10 වැනි සංවත්සරයට සමගාමීව සිදුවිය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, හවුල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්, අන්‍යෝන්‍ය විශ්වාසය, හවුල් ආර්ථික අවශ්‍යතා සහ කලාපීය සහ ගෝලීය සාමය සහ ස්ථාවරත්වය සඳහා කැපවීම මත මුල් බැසගත් ශක්තිමත් සහ වර්ධනය වන හවුල්කාරිත්වය අමාත්‍යවරු යළි තහවුරු කර තිබේ. විශේෂයෙන් ඉන්දු පැසිෆික් කලාපයේ කලාපීය සහ ගෝලීය වර්ධනයන් පිළිබඳව ද සාකච්ඡාවලදී අවධානය යොමුව ඇත.