මෙරට ඉන්ධන මිල මාසිකව සංශෝධනය කළද එහි වාසිය රටේ සාමාන්‍ය ජනතාවට හිමි නොවන බව ආර්ථික විද්වතුන් පවසනවා.
ඒ අනුව එහි වාසිය එම ජනතාවට ලබාදීමට අදාළ පාර්ශව විධිමත් මැදිහත්වීමක් සිදුකළ යුතු බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා නෙත් නිවුස් කළ විමසිමකදී පැවසුවේ.
මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම මිල ගණන් සංශෝධනය වූයේ සුළු මුදලකින් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
ඉන්ධන මිල සංශෝධනයෙන් දුප්පත් ජනතාවට සහන ලැබිමට නම් පොදු ප්‍රවාහන ක්ෂේත්රයේ මිල ගණන් පහළ දැමිය යුතු බවද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරටත් පැවසුවා.
මාසික මිල සංශෝධනයට අනුව පසුගිය පළමු වනදා ඉන්ධන මිල පහළ දැමුණේ අඩු මුදලකින්. ඒ අනුව රුපියල් 299ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05කින් පහළ දැමුවා. එම පෙට්‍රල් ලීටරයක දැන් මිල රුපියල් 294ක්. එමෙන්ම රුපියල් 313ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දැමුණා.
මේ අතර රුපියල් 335ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවූ අතර රුපියල් 277ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල ද සංශෝධනය වුයේ නැහැ. එමෙන්ම රුපියල් 180ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිලෙහි ද කිසිදු වෙනසක් නොවැම්බර් මාසයට අදාළ සිදු නොවීමද විශේෂත්වයක්.
එවන් පසුබිමක් තුළ පොදු ප්‍රවාහන ක්ෂේත්රයේද මිල ගණන් පහළ දැමුණේ නැහැ.




