ඉරානය සහ ඊශ්‍රායලය තවදුරටත් දෙපාර්ශවයට ප්‍රහාර එල්ල කර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඉරානය විසින් දියත් කරන ලද ඩ්‍රෝන යානයක් සිය භාරයට ගෙන ඇති බවයි ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රකාශ කර ඇත්තේ.
ටෙහෙරාන් අගනුවර පිහිටි ඉරාන අභ්‍යන්තර ආරක්ෂක මූලස්ථානය විනාශ කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇති බවද බීබීසි පුවත් සේවය වාර්තා කළා.
මේ අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවේ ඉරානය සඳහා ප්‍රහාරක සැලසුම් අනුමත කර ඇතැයි වාර්තා වනවා.
නමුත් ඉරානය එහි න්‍යෂ්ටික වැඩසටහන අත්හරියි ද යන්න ට්‍රම්ප් අවසාන මොහොතේදීත් බලා සිටින බැවින් ඉරානයට පහර දීමට අණ කරමින් ලබා දෙන අවසාන නියෝගය තවදුරටත් ප්‍රමාද කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
මේ අතර ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජාතිය අමතා කළ ප්රකාශයේදී අමෙරිකාවට තර්ජනය කිරීම සහ යටත් නොවන බවට ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ට්‍රම්ප්ගෙන් විමසා තිබෙනවා.
එහිදී ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානය යටත් නොවන්නේ නම් ඔවුන්ට “ගුඩ් ලක්” නැතහොත් ඉරාන නායකයාට සුබ පතන බවයි.
මේ අතර පවත්නා තත්ත්වය හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි සැසියක් අද පැවැත්වීමට නියමිත බවද වාර්තා වනවා.
ඒ, ඉරානය, රුසියාව, චීනය, පාකිස්ථානය සහ ඇල්ජීරියාව කළ ඉල්ලීමක් අනුවයි.
එම රැස්වීමට සහභාගී වන බව ඊශ්‍රායල ද තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
මේ අතර ඉරාන – ඊශ්‍රායල ගැටුම සම්බන්ධයෙන් තීරණයකට එළඹීම දෙරටේ නායකයන්ට භාරදිය යුතු බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් පවසා තිබෙනවා.
ඉරානය, රුසියාවෙන් උදව් ඉල්ලා තිබේදැයි මාධ්‍යවේදීන් රුසියානු ජනාධිපතිවරයාගේ මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කර තිබෙනවා.
“අපේ ඉරාන මිතුරන් මේ ගැන අපෙන් විමසා නොමැත” යනුවෙන් රුසියානු ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.