අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ඨික වැටසටහන දශක ගණනාවක් පසුබෑමට ලක්ව ඇතැයි තමන් විශ්වාස කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

නේටෝ සංවිධානයේ සමුළුවට සහභාගී වීම සඳහා නෙදර්ලන්තයේ හේග් නුවරට පැමිණ සිටින අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් කළ කරුණු විමසීමකදීයි.

අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය ඉරාන – ඊශ්‍රායල යුද්ධය අවසන් කිරීමට හේතුවක් වූ බවද ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී පවසා තිබෙනවා.

ඉරාන න්‍යෂ්ඨික මධ්‍යස්ථාන විනාශ නොකළේ නම් ඔවුන් සටන් විරාමයකට එකඟ නොවනු ඇති බවද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම පාසල් මිදුලක ළමුන් දෙදෙනෙකු අතර ගැටුමක් හා සමාන බවටයි ඔහු එහිදී පවසා ඇත්තේ.

“ඔවුන්ට මිනිත්තු දෙක තුනක් සටන් කිරීමට ඉඩ දෙන්න. එවිට ඔවුන් නැවැත්වීම පහසුයි” යනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීමට ගෙන යන වැඩපිළිවෙළද විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇති බවද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ඨික නිරීක්‍ෂණ සහයෝගිතා වැඩසටහන අත්හිටුවීමට ඉරාන පාර්ලිමේන්තුව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් බගර් ඝලිබාෆ් ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ඉරානයේ න්‍යෂ්ඨික මධ්‍යස්ථානවලට එල්ල කළ ඊශ්‍රායල සහ අමෙරිකානු ප්‍රහාර හෙළා දැකීම ප්‍රතික්ෂේප කළ බවයි.

එමගින් එම ආයතනයේ ජාත්‍යන්තර විශ්වාසනීයත්වය වෙන්දේසියට දමා ඇති බවත් ඉරාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර අමෙරිකාව විසින් එල්ල කළ ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ඨික මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ වූවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් සංවාද වෙමින් පවතිනවා.

අමෙරිකානු හිටපු ජෙනරාල්වරයෙකු වන බෙන් හොජ්ස් පවසා ඇත්තේ ඉරානයේ න්‍යෂ්ඨික මධ්‍යස්ථාන විනාශ කළ බවට අමෙරිකානු ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය අඥාන හා සම්පූර්ණයෙන් වැරදි ප්‍රකාශයක් බවයි.

එවැනි කරුණක් සම්බන්ධයෙන් මෙතරම් ඉක්මනින් නිවැරදි තක්සේරුවක් කළ නොහැකි බවද ඔහු පවසා ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කළා.

මේ අතර ඔබාමා පරිපාලනයේ හිටපු නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු ප්‍රහාරය සාර්ථක වූයේ නම් බලගතු යුරේනියම්වල තත්ත්වය කුමක්ද යන්න සොයා බැලිය යුතු බවයි.