ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සම්පූර්ණ පාලනය අත්පත් කර ගැනීමට අදහස් කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. එවැනි පියවරකට සහාය දිය යුතුද යන්න එරට අමාත්‍යවරුන් තීරණය කරන ප්‍රධාන රැස්වීමකට පෙර ඔහු මෙම අදහස් පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේවෙතත් ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය හමාස් සංවිධානය දැඩිව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔවුන් අනතුරු අඟවා ඇත්තේ නෙතන්යාහු ඔහුගේ පෞද්ගලික අවශ්‍යතා සඳහා ගාසා තීරයේ ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පූජා කිරීමට කැමැත්තෙන් සිටින බවයි. ඊශ්‍රායලයේ මෙම තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ද අනතුරු අඟවා තිබෙනවා. ඔවුන් පවසා ඇත්තේ සම්පූර්ණ හමුදා අත්පත් කර ගැනීමක් හරහා පලස්තීන සිවිල් වැසියන්ට මෙන්ම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට විනාශකාරී ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි. එය විශාල වැරැද්දක් වනු ඇති බව ඊශ්‍රායලයේ බි්‍රතාන්‍ය තානාපතිවරයා ද පවසා තිබෙනවා. කෙසේවෙතත්, ගාසා තීරය ඈඳා ගැනීම තීරණය කිරීම ඊශ්‍රායලය සතු බවයි අමෙරිකාව පවසා ඇත්තේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ ගාසා තීරය අත්පත් කර ගැනීම “ඇත්තටම ඊශ්‍රායලයට භාරයි” යනුවෙනි.