යාපනය එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදු ප්‍රදේශයේදී කේරළ කංසා තොගයක් සොයා ගෙන තිබෙනවා. ඒ නාවික හමුදාව විසින් එම මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදීයි. එහිදී එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ උරයක් තුළ තිබී කේරළ කංසා කිලෝ 38යි ග්‍රෑම් 700ක් සොයා ගත් බවයි නාවික හමුදාව පැවසුවේ. එලෙස සොයාගත් කංසා තොගයේ වටිනාකම රුපියල් මිලියන පහළොවකට අධික බවටයි අනාවරණ වී ඇත්තේ. අදාළ කේරළ කංසා තොගය නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් එළුවතිව් මුහුදේ අතහැර දමා යන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. නාවික හමුදා භාරයට ගත් කේරළ කංසා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලීසය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා. මේ අතර, තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද එනසාල්, දුම්වැටි සහ විදේශීය මත්පැන් සමග සැකකරුවන් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පර්යන්ත රථ ගාලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ මිනුවන්ගොඩ කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදීයි. එම වැටලීමේදී එනසාල් කිලෝ ග්‍රෑම් 30ක්, විදේශීය දුම්වැටි 3,480ක් සහ විදේශීය මත්පැන් බෝතල් 27ක් සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් 27 සහ 29 යන වයස්වල පසුවන ගොතටුව සහ කොළඹ 13 ප්‍රදේශවල පදිංචිකරුවන්. සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපළ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.