එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 24 වනදා කැදවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට සම්බන්ධ බී වාර්තා මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගෙන කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා විරෝධය පළ කළේ නැත.

එම ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 24 වනදා කැදවන ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව ඉකුත් අගෝස්තු මස 05 වනදා මාධ්‍ය හමුවකදී තමන් පළ කළ අදහස් වලින් ජාතීන් අතර පවතින සංහිඳියාව බිඳ හෙලීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අනීතික ලෙස තමන්ව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උදය ගම්මන්පිල මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.