ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්වයෙන් පීඩාවට පත් වී සිටින මෙරට ජනතාව වෙත ලබාදීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් පළමු ගුවන් යානය ඊයේ මධ්‍යම රාත්‍රී 12.00ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී තිබෙනවා.

පීඩාවට පත් වී සිටින ජනතාව සදහා තාවකාලික නිවාස 48ක්, දින 14කට එක් පවුලක් සදහා අවශ්‍ය ආහාර ඇසුරුම් 2,592ක්, කූඩාරම්, ගලවා ගැනීමේ භට කණ්ඩායම් සදහා යොදා ගන්නා වාහන, දුෂ්කර මාර්ගවල ධාවනය කළ හැකි යතුරු පැදි ආදී භාණ්ඩ විශාල තොගයක් එම ආධාර අතරට අයත්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාවට අයත් ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන සී-17 වර්ගයේ ගුවන් යානයක් අබුඩාබි නුවර සිට මෙම භාණ්ඩ තොගය රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.