ප්‍ර‍වීණ දේශපාලනඥයෙකු මෙන්ම හිටපු කථානායකවරයෙකු වූ එම්.ඒ. බාකීර් මාකාර් මහතාගේ 28වන ගුණ සමරුව 2025 සැප්තැම්බර් 10 වන දිනට යෙදී තිබෙනවා. උපතින්ම මුස්ලිම් භක්තිකයෙකු වුවත්, සිංහල බසේත්, සිංහල ජාතියේත් මෙරට ජාතික සමගිය වෙනුවන් විපුල සේවාවක් කළ ජන නායකයෙකු බේරුවලින් මෙරටට බිහි විය. ඓතිහාසික පසුබිමකින් යුතු ප්‍ර‍සිද්ධ ආයුර්වේද පරපුරක 1917 මැයි 12 වන දින බේරුවල මරදානේ දී උපත ලැබූ මොහු බාකීර් මාකාර් නම් විය. බේරුවල පිහිටි ලංකාවේ පළමු මුස්ලිම් බාලිකා විදුහලින් මුලකුරු ඇරඹි මොහු ප්‍රාථමික අධ්‍යාපනය සදහා කොළඹ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඇතුළත් විය. කොළඹ සහිරා විදුහලින් ද්විතීය අධ්‍යාපනය හදාරා නීති ශිෂ්‍යයෙකු වශයෙන් 1939 වර්ෂයේදී නීති විද්‍යාලයට ඇතුළත් විය. කාලය මෙසේ ගෙවෙද්දී තම ගම් වැසියනට හරිහමන් සේවාවක් නොලැබීම ගැන කල්පනා කරන බේරුවල මරදාන ගම්වැසියන්ට නීති විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන උගත්, සමාජශීලී බාකීර් මාකාර් නම් තරුණයා පිළිබදව අදහසක් පහල විය. ධන බලයෙන් පත්වන පිරිස් වලින් දුගී ජනතාව සිටින ප්‍රදේශවලට ලැබෙන කුඩම්මාගේ සැලකිල්ල හේතුවෙන්, ධන බලයට එරෙහිව එවකට නීති ශිෂ්‍යයෙකුව සිටි බාකීර් මාකාර් තරුණයාව දේශපාලන පොරපිටියට දැමීම තීන්දු කළේ බේරුවල වෙරළබඩ ජනතාවය. මැණික් හා ධීවර ව්‍යාපාරිකයින් මෙන්ම සංචාරක හෝටල්, ස්කාගාර හිමි අයවළුන් ඇතුළු ධන කුවේරයින්ගෙන් අඩුවක් නැති ප්‍රදේශයකි, බේරුවල. දේශපාලනඥයින් වැඩි පිරිසකගේ දේශපාලන අනාගතය තීරණය වන්නේ මුදල් මතය. මුදල්, බලය හා දේශපාලන පවුල් පසුබිමක් නොතිබූ බාකීර් මාකාර් මහතාගේ දේශපාලන ගමනට ප්‍ර‍ධානතම අභියෝගය වූයේ බේරුවල ධන කුවේරයන්ගේ මුදල්ය. එදා බේරුවල ධන කුවේරයන්ගේ සල්ලි බලය උඩු යටිකුරු කළ බාකීර් මාකාර් මහතාගේ පළමු දේශපාලන සටන් පාඨය වූයේ “දීන මිනිසුන් නොවන්න සල්ලි බලය පරදවන්න රෝදෙට ඔබෙ චන්දෙ දෙන්න.” යන්නය. කොතරම් වැර දැරුවත් සල්ලි බලයට, බලපුළුවන්කාර කම්වලට ඔහුව කිසිවිටෙකත් යටත් කරගත නොහැකි විය. 1950 වර්ෂයේදී බේරුවල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්වන බාකීර් මාකාර් මහතා, එම වසරේදීම බේරුවල නගර සභාවේ නගරාධිපති දූරයටද තේරී පත්විය. එම වර්ෂයේදීම නීතීඥවරයෙකු වශයෙන් දිවුරුම් දුන් බාකීර් මාකාර් මහතා පසුව කළුතර නීතීඥ සංගමයේ සභාපති ධූරයටද නීතීඥ බහුතරයේ කැමත්තෙන් තේරී පත්විණ. 1954 වර්ෂයේදී පැවැති සමස්ථ ලංකා මුස්ලිම් සංගමයේ වාර්ෂික සම්මේලනයේ දී “රාජ්‍ය භාෂාව සිංහල භාෂාව” විය යුතු බවට තර්ක විතරක් ගෙනහැර පාමින් යෝජනාවක් බාකීර් මාකාර් මහතා ගෙනාවේය. මේ යෝජනාව සියල්ලන්ගේ ඒකමතික කැමත්ත ඇතිව සම්මත විය. මේ පුවත රැගෙන ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ඔහු ගියේය. තවද ලංකාවේ පලාත් පාලන ආයතනයකින් මෙරට රාජ්‍ය භාෂාව සිංහල බස විය යුතු යැයි යන්න සම්මත වූ ප්‍ර‍ථම අවස්ථාව මෙය විණ. මේ රටේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව විය යුතු යැයි මුස්ලිම් ජාතිකයෙකු වූ මොහු කළ මේ යෝජනාව කාලයේ වැලිතලාවෙන් වැසී ගියත්, ලක් ඉතිහාසයෙන් මැකී නොයනු ඇත්තේ ඒ ශ්‍රේෂ්ඨ ඓතිහාසික යෝජනාව ලක් ඉතිහාසයේ හොදින් සටහන් වී ඇති බැවිනි. 1957 චන්ද කොට්ඨාශ සීමා නිර්නය කිරීමේ කොමිෂන් සභාවට කලුතර දිස්ත්‍රික්කයේ විසිරී සිටින මුස්ලිම් ජනතාව සදහා නියෝජනත්වයක් ලබාදීමේ සාධාරණත්වය ගැන කරුණු ඉදිරිපත් කළ බාකීර් මාකාර් ප්‍ර‍මුඛ කලුතර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව ගත් උත්සාහයේ ප්‍ර‍තිඵලයක් ලෙස, කළුතර දිස්ත්‍රික්කයේ මුස්ලිම් නියෝජනය වෙනුවෙන් 1960 වර්ෂයේදී බේරුවලට මන්ත්‍රී අසුනක් ලැබිණි. එදා බේරුවල සිටි ධනවතුන්, බලවතුන් රැසක් බේරුවල එ.ජා.ප. සංවිධායක ධූරයට පොරකද්දී ඩඩ්ලි සේනානායක මහතාගේ ඇරයුමෙන් හා බේරුවල ජනතාවගේ ඉල්ලීම මත එක්සත් ජාතික පක්ෂය එතුමන්ව මේ තනතුර සදහා තෝරා ගත්තේය. 1960 මාර්තු පැවැති පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් ජයගත් බාකිර් මාකාර් මහතා බේරුවල නව මන්ත්‍රී කොට්ඨාශයේ පළමු මන්ත්‍රීවරයා වශයෙන් මෙරට ඉතිහාසයට එක්විණ. 1965 වර්ෂයේදී කළුතර දිස්ත්‍රික්කයෙන්ම එ.ජා. පක්ෂයට හිමි වූ එකම ආසනය බේරුවල විය. මේ නිසා ඔහු එදා කළුතර තනි අලියා යන අන්වර්ථ නාමයෙන් ද හදුන්වනු ලැබීය. 1970 මහා මැතිවරණයෙන් පරාජයට පත්වූ බාකීර් මාකාර් මහතා බේරුවල ජනතාව සමග දුකේදීත්, සැපේදීත් එකමට ජීවත් විය. මේ කාලයේ ඔහු වෙන කිසිම ආසනයකට නොදෙවෙනි සංවිධානයක් බේරුවල ගොඩ නගා ගත්තේය. 1977 ජූලි මස පැවති මහා මැතිවරණයෙන් වැඩි චන්ද 27000 ලබා ගනිමින් බාකීර් මාකාර් මහතා බේරුවල පළමු මන්ත්‍රී වීමේ වාසනාව උදාකර ගත්තේය. මේ මැතිවරණයේ වැඩිම වැඩි චන්ද ලබා ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස සහ බාකීර් මාකාර් මහතුන් පසුව මෙරට ජනාධිපති, අගමැති, කථානායක තනතුරුවලට පත්වීම දැකීමට අපට හැකිවිණ. ශ්‍රී ලංකා පැරණි පාර්ලිමේන්තුවේ අවසාන කථානායක වශයෙන් ද, නව පාර්ලිමේන්තුවේ ප්‍ර‍ථම කථානායක වශයෙන්ද බාකීර් මාකාර් මහතා මෙරට ඉතිහාසයට එක්වී ඇත. කථානායක තනතුර ජනතාවගෙන් ඈත් කරන වගකීම් රැසක් ඇති තනතුරක් වුවත්, පාර්ලිමේන්තුවේ කොතරම් කාර්යයබහුල වුවත්, සතිපතා බේරුවල යාම පුරුද්දක් වශයෙන් කළේය. සතියේ සෑම දිනකම උදයවරුවේ පාර්ලිමේන්තු කාර්යාලයට යාමට පෙර මුම්තාස්මහල් නිල නිවස බේරුවල ජනතාව සදහා විවෘත විය. කථානායක නිල නිවස ජනතාවගෙන් පිරුණු තැනක් බවට පත්කළේ මෙතුමන්ය. ගරු ගාමිණී අතුකෝරාල මැතිතුමා මෙතුමන් පිළිබද ගුණ සමරමින් (උපුටා ගැනීම 1998.02.20 හැන්සාඩ් වාර්තාව) “මේ රටේ මේ දක්වා සිටි සුළු ජාතික නායකයින් ගැන කල්පනා කරන විට සුළු ජාතික නායකයින්ගෙන් ප්‍ර‍ථම වරට මේ රටේ උසස්ම ස්ථානය ලබා ගැනීමට අවකාශ ලැබුණේ බාකීර් මාකාර් මහතාටය. එම අවස්ථාව ලැබුණේ චාල්ස් කුමරුගේ සහ ඩයනා කුමරියගේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගී වීම සදහා ජනාධිපති ජේ.ආර්. ජයවර්දන මහතාත් අගමැති ආර් ප්‍රේමදාස මහතාත් එංගලන්තය බලා ගිය අවස්ථාවේදී, කථානායකතුමා තුන්වැනි නායකයා හැටියට සැලකෙන නිසා, එවකට කථානායකව සිටි බාකීර් මාකාර් මහතාට මේ රටේ වැඩ බලන රාජ්‍ය නායකයා ලෙස වගකීම් ඉටුකිරීමේ කාර්යය භාරය පැවරිණ.මේ දක්වා මේ රටේ සුළු ජාතිකයෙකුට අවම වශයෙන් වැඩ බලන රාජ්‍ය නායකයාගේ තත්වයට පත්වී කටයුතු කරන්නට ලැබුණු එකම හා පළමුවැනි අවසථාව එයයී. ඒ නිසා එය එතුමාට ලැබුණු ඓතිහසික වැදගත්කමක් ඇති ගෞරවයක්ය කියන එකත් මම මේ අවස්ථ‍ාවේදී මතක් කරන්න කැමතියි.” යැයි ද එතුමා වැඩිදුරටත් පැවසීය. 1978 සිට කථානායක ධූරය හෙබවූ බාකීර් මාකාර් මහතා 1983 අගෝස්තු 31 වෙනි දින එම පදවියෙන් සමුගත් අතර, එදිනම කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් දිවුරුම් දුන්නේය. කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් වසර පහකටත් වැඩි කාලයක් බේරුවල ජනතාවටත්, මෙරටටත් විශාල සේවාවක් කළ මොහු 1988 ජූනි 31 වෙනි දින පාර්ලිමේන්තු දිවියෙන් සමුගත්තේය. පසුව නිහතමානී ජන නායක බාකීර් මාකාර් මහතා 1988 ජූනි 31 වෙනි දින දකුණු පළාත් ආණ්ඩුකාරධුරයට පත්විය. බේරුවල ආසනය පුරාම නැතිබැරි මිනිසුන් වෙනුවෙන්, ඔවුන්ගේ ගරුත්වය වෙනුවෙන්, ඔහු කළ මෙහෙවර සමාජ සාධාරණත්වය අගයන බේරුවල ජනතාව කිසි දිනෙක අමතක නොකරනු ඇත. දේශපාලන දිවියේ අඩ සියවසකටත් වැඩි කාලයක් කළ උතුම් ජන මෙහෙවර අවසන් කරමින් 1993 දෙසැම්බර් 21 වෙනි දින දකුණු පළාතේ ආණ්ඩුකාරධූරයෙන් හා දේශපාලන දිවියෙන් ඔහු සමුගත්තේය. මෙරට ජීවත්වන සියළුම ජන කොටස් එකම සහෝදර ජනතාවක් ලෙස එතුමා සැලකුවේය. සමාජ අසාධාරණය දුරුකොට සියළු ජාතීන් අතර ජාතික සමගිය ඇති කිරීම සදහා දැඩි කැපවීමෙන් ඔහු කළ සේවාව ජාතික සමගිය අගයන මෙරට ජනතාව කිසිදා අමතක නොකරනු ඇත. අඩසියවසකටත් වඩා අධික වූ ඔහුගේ දේශපාලන දිවිය තුළ ජාතික සමගිය රැකගත් අයුරුත්, ඔහු කළ ජනතා සේවාවත්, බේරුවල ජනතාවට අමතක කළ නොහැක. බාකීර් මාකාර් නාමයටත් බාකීර් මාකාර් පවුලටත් බේරුවල ජනතාව අදත් ගරු බුහුමන් කරන්නේ ඒ නිසාය.