විගණන කාර්යාංශයට අනුව අප රටට බාල බෙහෙත් ගෙනවිත් අනීතිකව ඒ බාල බෙහෙත් අපේ රටේ ජනතාවට විකුණා ඒ වැරදි වැඩ කරපු ඖෂධ ක්ෂේත්‍රයේ ප්‍රබලයන්ගෙන් රු. බිලියන 3ක් මාර්තු 31 වැනි දා වන විට අය කර ගන්නට ඇති බවත් ක්‍රමයේ වෙනසක් ගැන කතා කළ වත්මන් රජය මේ බාල බෙහෙත් ජාවාරම්කරුවන් කළ මේ විනාශය වෙනුවෙන් ඒ අය ගෙවිය යුතු වන්දි ටික අය කර නොගන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මේ තරම් විශාල මුදලක් එකතු කර ගන්න තිබිය දී රජය එය නොකරන්නේ ඇයි ද කියා සැකයක් ඇති බවත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කර සිටියා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය බල ප්‍රදේශයේ කටුපොත ගම්මානයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සදහා එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා.

දුෂ්කර ගම්මානවල ජිවත් වන ජනතාවගේ දුක කදුල වේදනාව කුරුදුවත්තේ, කොල්ලුපිටියේ පාලකයන්ට නොතේරෙන බවත් ඒ අය හොඳින් සුවපහසු ජීවිතයක් ගත කරන්නේ මහපොළොවේ නොව කැටිවළාකුළුවල බවත් මේ ජනතාව වෙනුවෙන් යමක් කරන විට බෙදන් යනවා කියා චෝදනා කරන බවත් අද රටේ ඇති හැකි නැති බැරි පරතරයක් ඇති බවත් පාස්කු ඛේදවාචකය, කොරෝනා කෝවිඩ් වසංගතය සහ බංකොලොත්භාවය නිසා වර්ධනය වී ඇති බවත් දුප්පත්කම ගැන පර්යේෂණ කරන ආයතනවලට අනුව රටේ 50%ක් දුප්පත් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අප රටේ මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන විට ඒවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ඉංජිනේරුවන් අවශ්‍ය වුවත් රටේ ඉංජිනේරුවරුන් නොමැති බවත් 1520ක් සිටිය යුතු වුවත් අද සිටින්නේ 670ක් බවත් ළගදි අලුතින් ඉංජිනේරුවන් 300ක් බඳවා ගන්නට නියමිත වුවත් මේ ඉංජිනේරුවන් ඇතුළු වෘත්තීයවේදීන් රට අතහැර යන බවත් මේ අයට රට සුබවාදී ආකල්පයක් ඇත් නම් මොවුන් රට අතහැර නොයන බවත් වසරක් වයසැති ජවිපේ ආණ්ඩුව හරිදේ කරනවා කියා හිතනවා නම් මොවුන් රට අතහැර යන්නේ ඇයිද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය සැලසුම් කර ඇති ආකාරයට ඉතිහාස විෂය අනිවාර්ය විෂයන්වලින් ඉවත් කරන බවත් අප රටේ අධ්‍යාපනය නූතනවාදී නවීකරණය විය යුතු වුවත් අපේ රටේ රටේ ඉතිහාසය ගැන නිවැරදි මනා දැනුමක් පුරවැසි පරපුරට ලැබිය යුතු බවත් එය ස්ථිර විෂයක් බවට එමනිසා පත්විය යුතු බවත් මේ තීරණයට විපක්ෂය තරයේ විරුද්ධ බවත් ඉංග්‍රීසි භාෂා දැනුම තොරතුරු තාක්ෂණ දැනුම මෙන්ම ඉතිහාස දැනුම නැති පුරවැසියා සුහුරු පුරවැසියෙක් නොවන බැවින් ඉතිහාස විෂයට ලබා දිය යුතු ප්‍රමුඛතාව ලබා දිය යුතු බවත් ඒ වෙනුවෙන් කළ හැකි උපරිම සටන සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අලුත් නීති පද්ධතියක් හරහා වැඩිහිටියන් ගුරුවරුන් දරුවන් නිවැරදි මගට ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග තීරණය කිරිමට යන බවත් මේ සම්බන්ධයෙන් විවිදයක් ඇති බවත් ලිබරල් අදහස් දරන අය දරුවන්ට අතතියන්න හොඳ නෑ යැයි පවසන බවත් හිංසනය තලාපෙලා කටයුතු කිරිම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් යැයි පවසන බවත් තවත් සමහරෙක් දරුවන් වැරදි කරන විට නිවැරදි මාර්ගයට ගන්න ක්‍රමයක් ගැන කියන බවත් මෙහි පැතිකඩ දෙකක් ඇති බවත් දඩුවම, වදහිංසාව, අපහාසය හරහා ආත්මගරුත්වය නැති කර දරුවා විනයගරුක කිරීම ගැන ප්‍රශ්න ඇති මුත් දිගින් දිගටම පුනපුනාම දරුවා වැරදි මාර්ගයක යනවා නම් ගුරුවරයාගේ දෙමාපියන්ගේ වගකීම වන්නේ බලා සිටීම නොව පිරිසුදු චේචනාවෙන් කටයුතු කිරීම බවත් මේ ගැන විවාදයක් ඇති නිසා ආණ්ඩුව මේ පනත ගැන ඡන්දයක් නොතිබූ බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

අනපනත් පනවන විට දරුවාගේ පැත්තෙන් නිවැරදි දේ කළ යුතු බවත් සත්භාවයෙන් ගුරුවරුන් හා දෙමාපියන් කටයුතු කළ යුතු බවත් සත්භාවය කියා දරුවන්ට කෘරත්වය මිලේච්ඡත්වය එල්ල නොකළ යුතු බවත් මේ කරුණු කාරණා ගැන සිතා බලා අපේ යුතුකම වන්නේ දරුවා සුමගට ගෙන ඒම බවත් ශීලාචාර ශිෂ්ටසම්පන්න සුචරිතවාදී රටටම වැඩදායී ඵලදායි දරුවන් බවට ශක්තිමත් කිරීම මේ ක්‍රමවේදයේ අරමුණ විය යුතු බවත් මෙහි දී දරුවාගේ මානව අයිතිය ආරක්ෂා වනවා සේම ගරුවරුන්ට දෙමාපියන් යම්කිසි නිසි ක්‍රමවේදයකට දරුවා නියම ආකාරයට හසුරවන්න හොද නරක පහදා දී සුමගට යැවීමේ කාර්යභාරය ගැන ද මේ නීතිවල සදහන් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.