රට තුළ මේ වන විට පවතින ඖෂධ හිඟයට හේතුව මූල්‍ය ගැටළුවක් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඔහු පැවසුවේ ඖෂධ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කළද ප්‍රසම්පාදනයේ පවතින ගැටලු හේතුවෙන් ඖෂධ හිඟය නිර්මාණය වී ඇති බවයි.

අම්පාර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක් වෙමින් සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කළා.

මේ අතර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අම්පාර මහ රෝහලේ සංචාරයකද නිරත වී තිබෙනවා.

එහිදී එම රෝහලට රුපියල් මිලියන 25ක් වටිනා ගිලන් රථයක් සහ රුපියල් මිලියන 35ක් වටිනා ජංගම සායන රථයක් ලබාදීමද සිදුකෙරුණා.

රෝහලේ අභ්‍යන්තර මාර්ග අලුත්වැඩියා කිරීම සඳහා මුල්ගල් තැබීමද අමාත්‍යවරයා අතින් එහිදී සිදුකෙරුණා.

නැගෙනහිර පළාතේ හෘද රෝග කැතීටකරණ ඒකකයේ ඉදිකිරීම් පිළිබඳවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එහිදි සොයා බැලූ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.