කටාර් රාජ්‍යයේ සහ ඉරාකයේ අමෙරිකානු කඳවුරු කිහිපයක් ඉලක්ක කර ඉරානය ඊයේ රාත්‍රියේ මිසයිල ප්‍රහාර එල්ල කළා.
ඒ, ඉරානයේ න්‍යෂ්ඨික මධ්‍යස්ථාන ඉලක්ක කර අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි.
කටාරයේ සහ ඉරාකයේ අමෙරිකානු කඳවුරුවලට ප්‍රහාර දියත් කළ බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක කවුන්සිලයද තහවුරු කර තිබෙනවා.
මෙම ප්‍රහාරයත් සමග කටාර් රාජ්‍යයේ ගුවන් අවකාශය වසා දැමූ අතර පසුව මැදපෙරදිග කලාපයේ තවත් ගුවන් කලාප රැසක් තාවකාලිකව වසාදමනු ලැබුවා.
එලෙස ගුවන් කලාප තාවකාලිකව වසා දමන ලැබුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සෞදි අරාබිය, ලෙබනනය සහ ජෝර්දානයයි.
මේ හේතුවෙන් ගුවන් ගමන් වාර විශාල ප්‍රමාණයක් අවලංගු කිරීමට, ප්‍රමාද කිරීමට හෝ නැවත හරවා යැවීමට සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග කලාපය වෙත පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යානා 05ක් වෙනත් ගුවන් තොටුපොළවල් වෙත හරහා යවා ඇති බවයි වාර්තා වුණේ.
ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාර හේතුවෙන් වසා දැමූ ගල්ෆ් කලාපයේ ගුවන් අවකාශ කිහිපයක් මේ වන විට යළි විවෘත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
කුවේට්, බහරේන්, ඩුබායි, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් කලාප එලෙස යළි විවෘත කර තිබෙනවා.
කටාර් සිවිල් ගුවන් සේවා අධිකාරියද පසුව ප්‍රකාශයට පත් කළේ රට පුරා ගුවන් අවකාශය යළි විවෘත කළ බවයි.
මේ අතර කටාර් ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාර සිය භූමියට ඇතුළු වීමට පෙර නිෂ්ක්‍රීය කළ බවයි.
මිසයිල ප්‍රහාර 12ක් අමෙරිකාව විසින් පාලනය කරන අල් උදෙයිද් ගුවන් කඳවුර ඉලක්ක කර එල්ල කර ඇති බව කටාර් හි ඒකාබද්ධ මෙහෙයුම් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ශයික් බින් අල් හජ්රි ප්‍රකාශ කර තිබෙනවා.
කටාරයේ වේලාවෙන් ඊයේ රාත්‍රී 07යි 30ට පමණ එම මිසයිල ප්‍රහාර දියත් කර ඇති බවත් මිසයිල 11ක් මුහුදු ප්‍රදේශයේදීම විනාශ කර දමා ඇති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
උදෙයිද් කඳුවර ඉලක්ක කෙරුණු එක් මිසයිලයක් පමණක් කටාර් භූමියට කඩා වැටී ඇති අතර එමගින්ද හානියක් සිදුව නොමැති බවයි කටාර් හි ඒකාබද්ධ මෙහෙයුම් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා වැඩිදුරටත් පවසා ඇත්තේ.
ප්‍රහාර එල්ල වන අවස්ථාවේදී කටාර්හි අගනුවර වන දෝහාහි අල් උඩෙයිඩ් ඇමරිකානු ගුවන් මෙහෙයුම් මූලස්ථානයේ හමුදා නිලධාරීන් 8,000 කට ආසන්න සංඛ්‍යාවක් රැඳී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
මේ අතර ඉරානය එල්ල කළ මෙම ප්‍රහාරය ඉතා දුර්වල ප්‍රහාරයක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
එම ප්‍රහාරවලින් අමෙරිකානු කඳවුරුවලට හෝ කිසිදු අමෙරිකානුවෙකුට හානි සිදුව නොමැති බවයි ඔහු පවසා ඇත්තේ.
ඉරානය විසින් ප්‍රහාර එල්ල කරන බවට කල් වේලා ඇතිව පවසා මෙම ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් එය වළක්වා ගැනීමට හැකි වූ බවත් ඒ සම්බන්ධයෙන් ඉරානයට ස්තුතිවන්ත වන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.