කාර්යය බහුල දින සහ වේලාවලදී ගුවන් මගීන් සමග පැමිණෙන අමුත්තන් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ආලින්දය වෙත පිවිසීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපොළ අලෙවිකරණ සහ ආයතනික සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

එම අංශයේ ප්‍රධානී සුමිත් ද සිල්වා මහතා පැවසුවේ ඒ අනුව සෑම සතියකම බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ආලින්දය වෙත අමුත්තන්ට ඇතුළු වීම අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.

පසුගිය දිනවල කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රාත්‍රී කාලයේ ගුවන් මගීන් සහ ගුවන්තොටුපොළ භාවිතා කරන්නන් අධික තදබදයකට ලක් වීම හේතුවෙන් අපහසුතා ඇති වී තිබුණා.

එම තත්ත්වය සැලකිල්ලට ගෙන ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ තදබදය අවම කර ගුවන් මගීන් සහ ගුවන් තොටුපොළ භාවිතා කරන්නන් වෙත කාර්යක්ෂම, සුමට සේවාවක් සැපයීම සදහා මෙම තීරණය ගෙන තිබෙනවා.