පවතින දැඩි වර්ෂාවත් සමඟ කලාවැව හදිසි වාන් දොරටු දෙක අඩි 01 බැගින් විවෘත කිරීමට කලාවැව ජලාශ භාර ඉංජිනේරු කාර්යාලය ඊයේ(24) සවස පියවර ගෙන තිබෙනවා.

මේ වනවිට කලා වැවේ සමස්ථ ජලධාරිතාවය අක්කර අඩි 84222ක් ව පවතීන අතර පවතින වර්ෂාවත් සමග තත්පරයට ඝණ අඩි 3728 පමණ ජල ධාරිතාවයක් මේ වනවිටත් කලාවැවට එක්වෙමින් පවතින බව ඉංජිනේරුවෝ පවසනවා.

ඒ අනුව ඊයේ දින(24) පස්වරු 04.00ට පමණ කලාවැව හදිසි වාන් දොරටු දෙක අඩි 01 බැගින් විවෘත කිරීමට එම ජලාශ භාර ඉංජිනේරුවන් පියවර ගෙන තිබෙනවා.

එමඟින් තත්පරයට ඝණ අඩි 1021ක ජල ප්‍රමාණයක් කලාඔයට මුදා හැරේ.

අද උදෑසනින් අවසන් වූ ගෙවුන පැය 24 තුළ කලාවැවට මිලි මීටර් 15ක වර්ෂාපතයක් ලැබී තිබූ බව ද එම ජලාශ කාර්යාලය පවසනවා.

අවශ්‍ය වෙතොත් රාත්‍රී කාලයේ හෝ තවදුරටත් වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බැවින් ඒ සම්බන්දයෙන් විමසිලිමත් වන ලෙසත් සිදුවිය හැකි ආපදා අවම කර ගැනීමට පෙර සූදානමින් කටයුතු කරන ලෙසත් කලා ඔය දෙපස පහත්බිම් වල පදිංචි කරුවන්ට කලාවැව ජලාශ භාර ඉංජිනේරු කාර්යාලය දන්වා සිටිනවා.