ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන සිටින, කාණ්ඩ කිහිපයකට අයත් BYD වාහන, සමාගම් සහ බැංකු ඇපකර මත මුදා හැරීමට එකඟතාව පළ කිරීමට ශ්‍රී ලංකා රේගුවට අද සිදුවුණා.
ඒ , මීට අදාළව අභියාචනාධිකරණය ලබා දුන් නියෝගයක් හේතුවෙන්.
රේගුව විසින් රඳවා ගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම වාහන ආනයනය කළ JKCG Auto පුද්ගලික සමාගම විසින් පෙත්සමක් ගොනු කර තිබුනේ වාහන නිදහස් කිරීම සදහා ශ්‍රී ලංකා රේගුව සාධාරණ මැදිහත්වීමක් මාස ගණනාවක් පුරා සිදු නොකිරීම හේතුවෙන්.
පෙත්සම්කාර JKCG Auto පුද්ගලික සමාගම මීට අදාළව දිර්ඝ පැහැදිලි කිරීමක් කරමින් සදහන් කලේ රේගුව කඩිනම් හෝ සාධාරණ පියවර නොගැනීම නිසා BYD පාරිභෝගිකයින් අපහසුතාවයට පත්ව ඇති බවයි.
එම කරුණු සලකා බැලු අභියාචනධිකරණය ශ්‍රී ලංකා රේගුවට නියෝග කලේ BYD වාහන සමාගම් සහ බැංකු ඇපකර මත මුදා හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
ඒ අනුව, රේගුව භාරයේ ඇති BYD Atto 2 Premium–70kw, BYD Atto 1 Dynamic–45kw, BYD Atto 1 Premium–45kw, සහ BYD Dolphin Dynamic–70kw යනාදී කාණ්ඩවලට අයත් වාහන 625 ක් සමාගම් සහ බැංකු ඇපකර මත මුදා හැරීමට එකඟ වන බව ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයට දැනුම් දුන්නා.
BYD Atto 1 Dynamic වාහන 130 ක් සහ BYD Atto 1 Premium වාහන 74 ක් බැංකු ඇපකරවලට සමාන වටිනාකමක් සඳහා ආයතනික ඇපකර මත මුදා හැරීමට නියෝග කරන ලද අතර, BYD Dolphin Standard–49kw වාහන 232 ක් සහ BYD Sealion 7–100kw වාහන තුනක් බැංකු ඇපකර මත මුදා හරින ලෙස අධිකරණ නියෝගයේ සදහන්.
මේ අතර, BYD වාහන කිහිපයක් ඒවායේ මෝටර් ධාරිතාව (motor capacity) පරීක්ෂා කිරීමට පහසුකම් සැලසීම සඳහා සිය භාරයේ තබා ගන්නා බව රේගුව අධිකරණයට දන්වා සිටියා.




