මාරවිල, නාත්තන්ඩිය, ඉද්දමල්ගම, මැද මරඳ ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව කුඩා දරුවෙකු තුවාල ලබා තිබෙනවා.
වෙඩි තැබීම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී 09.30ට පමණයි.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි මාරවිල පොලීසිය පැවසුවේ.
වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇත්තේ නාත්තන්ඩිය, ඉද්දමල්ගම, මැද මරඳ පදිංචිව සිටි වයස අවුරුදු 30ක දෙදරු මවක්.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 09ක පිරිමි දරුවෙක්.
එම දරුවා මිය ගිය කාන්තාවගේ පුත්‍රයා බවත්, ඔහු මේ වන විට මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවත් පොලීසිය ප්‍රකාශ කළා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මෙම කාන්තාව සිය දරුවා සමග ත්‍රීරෝද රථයකින් ආපසු නිවසට පැමිණෙමින් සිටින අවස්ථාවේ ඇයගේ නිවස ආසන්නයේදීම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි කාන්තාව සහ ඇයගේ දරුවා ප්‍රතිකාර සඳහා එම අවස්ථාවේදීම මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් රෝහල් ගත කරන විටත් කාන්තාව මිය ගොස් තිබුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද අලුයම නිවේදනය කළේ රිවෝල්වර අවියක් හෝ පිස්තෝල අවියක් භාවිතා කර වෙඩි තැබීමට සිදු කරන්නට ඇති බවට සැක කරන බවයි.
ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ සැමියා හෙරොයින් මත්කුඩු ජාවාරම් කිරීමේ වරදට රක්ෂිත බන්ධනගාර ගතව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඇයගේ මවද ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ නිරත “කුඩු මාලි” නමින් හඳුන්වන බවත් විමර්ශන සිදු කරන නිලධාරීන් උපුටා දක්වමින් නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.
ඝාතනයට ලක්ව ඇති කාන්තාව ද හෙරෝයින් මත්කුඩු ජාවාරමට සම්බන්ධ බවට පොලීසියට තොරතුරු ලැබී තිබී ඇති බවද සඳහන්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද අලුයම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඝාතනයට ලක් වූ කාන්තාව මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකට රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලබා සිටි බවයි.
මෙම ඝාතනය කවුරුන් විසින් කුමන හේතුවකට සිදු කළාද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.