ඇෆ්ගනිස්ථානයේ විශ්වවිද්‍යාල ඉගැන්වීම් කටයුතු සිදුකරනු ලබන කාන්තාවන් විසින් ලියන ලද පොත් තහනම් කිරීමට තලේබාන් රජය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව “ෂරියා විරෝධී සහ තලේබාන් ප්‍රතිපත්ති” යන තේමාවට අදාළව පොත් 680ක් තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අතර “රසායනික විද්‍යාගාරයේ ආරක්ෂාව” වැනි මාතෘකා ඇතුළත් පොත් 140ක් පමණ ද මෙම තහනමට ඇතුළත් තිබෙනවා. එමෙන්ම මෙම සතියේ පමණක් තලේබාන්වරුන්ගේ උත්තරීතර නායකයාගේ නියෝග මත පළාත් 10ක පමණ ෆයිබර් ඔප්ටික් අන්තර්ජාලය තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම තලේබාන් නීතිරීති යටතේ දැඩි ලෙස පීඩාවට පත්කර ඇත්තේ කාන්තාවන් සහ ගැහැණු ළමයින්. ඔවුන්ට අධ්‍යාපනයට ප්‍රවේශ වීම සඳහා අවසර ඇත්තේ ද හයවන ශ්‍රේණිය දක්වා පමණයි. තවද විශ්වවිද්‍යාල විෂයයන් 18ක් තහනම් කර ඇති අතර එහිදී ද ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ කාන්තාවන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.