කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර ඇති ආකාරයට ඉදිරියේදී ඇති වන වැසි තත්ත්වයේ වර්ධනය වීම අනුව සූදානම් වීම සඳහා මේ වනවිට ආපදා කළමනාකරණ අංශ සූදානම් කර තබා ඇති බව එම මධ්‍යස්ථානය පවසනවා.

ඊට අදාළව මේ වනවිටත් නාවික හමුදා භට පිරිස්, ගුවන් යානා සහ බෝට්ටු සූදානම් කරන ලෙස දන්වා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවෙගොඩ මහතා පැවසුවේ.

මේ අතර උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 02.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැයට කිලෝ මීටර් 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.