දිවයින පුරා පවතින වැසි තත්ත්වය ඉදිරි සති දෙකේද අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වැඩි වශයෙන් පස්වරුවේ ගිගුරුම් සහිත වැසි අපේක්‍ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ.

අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසද ඔහු ජනතාවට දැනුම් දුන්නා.

මේ අතර, ඇදහැළෙන මහ වැසි හේතුවෙන් ජලාශ කිහිපයකම වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම මහඔය ද්‍රෝණියේ ඇතැමු ධාරා ප්‍රදේශවලට මේ වන විට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව ඉදිරි පැය 36ක කාලය තුළ අලව්ව, දිවුලපිටිය, මීරිගම පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවනවා.

එම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ අදාළ ප්‍රදේශ හරහා ගමන් ගන්නා පුද්ගලයන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

මේ අතර දැදුරුඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතිනවා.

දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වන විටත් තප්පරයට ඝන අඩි 16,250ක් දැදුරු ඔයට ජලය මුදාහරින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව දැදුරුඔය ද්‍රෝණියේ පිහිටි වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවල ගංවතුර තත්ත්වයත් ඇතිවිය හැකි බවට අනතුරු අඟවනවා.

එම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ අදාළ ප්‍රදේශ හරහා ගමන් ගන්නා පුද්ගලයන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

මේ අතර පවතින අධික වර්ෂාව සමඟ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හල්දුම්මුල්ල මරංගහවෙල හපුතලේ ප්‍රදේශයේදී ගල් පෙරළීමේ අවදානමක් මතුවී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

පැවති වර්ෂාව හේතුවෙන් මේ වනවිටත් හල්දුම්මුල්ල කළුපහන පුස්සැල්ල ප්‍රදේශයේදී විශාල ගල් පර්වත කිහිපයක් කඳුමුදුනේ සිට මාර්ගය මතට කඩා වැටී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට මරංගහවෙල, බෙරගල, හපුතලේ අතර ප්‍රදේශයේදී ගල් පෙරළීමේ අවදානමක් ද පවතින බැවින් ඒ පිළිබඳව විමසිලිමත්ව රථ වාහන ධාවනය කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ.