හෙට දිනයේ පැවැත්වීමට නියමිත කුරුණෑගල – කතරගම දේවාලයේ නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස එම දේවාලයේ හිටපු භාරකරුවන් පිරිසක් අධිකරණයෙන් කළ ඉල්ලීමක් කුරුණෑගල අතිරේක දිසා විනිසුරු ජනනී විජේතුංග මහත්මිය අද ප්‍රතික්ෂේප කළා. එම පැමිණිල්ලේ විත්තිකරුවන් ලෙස නම් කර තිබුණේ කුරුණෑගල – කතරගම දේවාලයේ වත්මන් භාරකරුවන් වන තිදෙනෙකුවයි.
එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා අධිකරණයහමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පැමිණිලිකරුවන් ස්වකීය පැමිණිල්ල මගින් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගය මුලුමනින්ම නීතියට පටහැනි බවයි.
පැමිණිලිකරුවන් අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ඉල්ලීමට පෙර මෙම සිද්ධිය පිළිබදව ප්‍රාදේශිය ලේකම්වරයාට පැමිණිලි කර සහතිකයක් ලබාගෙන නොමැති බවද නීතිඥවරයා කියා සිටියා.
ඒ අනුව කිසිදු නීතිමය පදනමකින් තොරව පැමිණිලිකරුවන් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගය ප්‍රතික්ෂේප කරන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
මෙම කරුණු දැක්වීම සැලකිල්ලට ගත් කුරුණෑගල අතිරේක දිසා විනිසුරු ජනනී විජේතුංග මහත්මිය පැමිණිලිකරුවන් මෙම නඩුව පැවරීමට පෙර ප්‍රාදේශීය ලේකම්වරයාට පැමිණිලි කර සහතිකයක් ලබා නොගෙන සිටීමද සැලකිල්ලට ගෙන පැමිණිලිකරුවන් ඉල්ලු අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළා.
හිටපු භාරකරුවන්ගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ කුරුණෑගල – කතරගම දේවාලයේ නිලවරණය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහභාගිත්වයෙන්.