කෘෂිකර්මාන්ත හා වැවිලි අංශයේ ආහාර නිෂ්පාදනයට වන ජීවීන්ගෙන් සිදුවන හානිය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය හා පාලනය සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ, රජයේ නිලධාරින්ගෙන් සහ විද්වතුන්ගෙන් සමන්විතවයි.

වන සතුන්ගෙන් සිදු වන කෘෂිකාර්මික හානි පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර කෙටි, මධ්‍යම සහ දිගු කාලීන විසඳුම් ක්‍රියාකාරී සැලසුමක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණයි.

ජාතික ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය මෙන්ම, ඊට අවශ්‍ය මානව, භෞතික හා මූල්‍ය සම්පත් ලබා දීම කමිටුවේ සම්බන්ධීකරණයෙන් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මෙහිදී අවධාරණය කර ඇත්තේ වනජීවීන් ස්වභාවධර්මයේ කොටසක් ලෙස සලකා තීරණ ගැනීම වඩාත් සුදුසු ක්‍රමවේදය බවයි.

එමෙන්ම වන ජීවීන්ට වනාන්තරය සඳහා වන අයිතිය පිළිගනිමින් විසඳුම් සකස් කළ යුතු බවත් ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්ක සඳහා කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

රිලවුන් සම්බන්ධයෙන් වසර පහළොවකට අධික කාලයක් කරන ලද අධ්‍යයන මත පදනම්ව, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දන්ගල්ල මහතා පවසන්නේ මෙම ගැටලුවට විද්‍යාත්මක ප්‍රවේශයක් ඔස්සේ සාර්ථක විසඳුම් ලබා දිය හැකි බවයි.

සත්ව ගහනය පාලනය කිරීමට විවිධ උපක්‍රම අනුගමනය කළ හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.