ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන ඊයේ රාත්‍රියේ මෙරටට රැගෙන ආ අපරාධකරුවන් 05 දෙනා ඉදිරි විමර්ශන සඳහා යොමු කර තිබෙනවා.
ඒ අනුව කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග යන තිදෙනා ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගියා.
දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන් වන බැකෝ සමන් සහ තැඹිලි ලහිරු යන දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා භාරදීමට නියමිතව ඇත්තේ බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය වෙතයි.
කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන්, පානදුරේ නිලංග සහ තැඹිලි ලහිරු ඊයේ රාත්‍රී 07: 25ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා.
ඒ, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට විශේෂ ආරක්‍ෂාවක් මධ්‍යයේ ගුවන් යානයකින්.
ඔවුන් කටුනායක ගුවන් තොටුපොළට රැගෙන එන අවස්ථාවේ එම පරිශ්‍රයේ සහ ඉන් පිටතද විශේෂ ආරක්‍ෂාවක් යොදවා තිබූ බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.
මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළට රැගෙන එන අවස්ථාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ් වුට්ලර් මහතා ඇතුළු පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
සංවිධානාත්මක අපරාධකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස රැගෙන ඒමෙන් අනතුරුව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙම අපරාධකරුවන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කිරීමට නියෝග ලබා දී ඇති බවයි.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා එම අවස්ථාවේදී මෙලෙස අදහස් පළ කළා.
සංවිධානාත්මක අපරාධකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන්, තැඹිලි ලහිරු, බැකෝ සමන්ගේ බිරිඳ සහ කුඩා දරුවා පසුගියදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගනු ලැබුවේ මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක් සහ ඉන්දුනීසියානු පොලිස් කණ්ඩායමක් එක්ව සිදුකළ මෙහෙයුමකදීයි.
එම සංවිධානාත්මක අපරාධකරුවන් 05 දෙනා දිවයිනට රැගෙන ඒම සඳහා තවත් පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් තිබුණා.
මේ අතර එරටදී අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගේ බිරිඳ සහ දරුවා එරට ආරක්‍ෂක අංශ විසින් මුදා හැර තිබුණා.
ඒ අනුව ඔවුන් දෙදෙනා පසුගිය 29 වනදා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ආරක්‍ෂක අංශ විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා.
ඉන් අනතුරුව බැකෝ සමන්ගේ බිරිඳ සහ දරුවා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබුණා.




