ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට හිතවතුන් 15 දෙනෙකු නාමිකව බඳවා ගෙන ඔවුන්ට ගෙවූ වැටුප් හා අතිකාල දීමනා වශයෙන් රුපියල් ලක්ෂ අසූවකට අධික මුදලක් ලබාගෙන රජයට පාඩු සිදු කර දූෂණය නමැති වරද සිදු කළේ යැයි අධිකරණයට ඉදිරිපත් කර තිබෙන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වල්ල මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට තීරණය කර ඇති බව අල්ලස් කොමිසම අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

අදාල පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කෙරුණා.

අදාල පැමිණිල්ලේ සැකකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍ය පුද්ගලික ලේකම්ව සිටි ඒ මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල , දියණිය අමාළී නායනිකා රඹුක්වැල්ල හා නිවසේ සේවිකාව වූ නිපුනි ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව මෙසේ අධි චෝදනා ගොනු කිරීමට නියමිත බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

අදාළ පැමිණිල්ලේ තුන්වන සැකකරු වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් කටයුතු කළ නිශාන්ත බණ්ඩාර බස්නායක නමැත්තා රජයේ සාක්ෂිකරුවක වශයෙන් නම් කිරීමට තීරණය කර ඇති බවත් එම කොමිසම අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව නිශාන්ත බණ්ඩාර බස්නායක නමැති සැකකරු මුදා හැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඒ අනුව අදාළ පැමිණිල්ල ජනවාරි මස 16 වනදා කැඳවන ලෙසත් එදින මෙම කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කලා.