ප්‍රමිතියෙන් තොර ප්‍රති දේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන 26 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබෙනවා.
ඒ මෙම නඩුව අද ප්‍රියන්ත ලියනගේ මහතා ප්රමුඛ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවෙදියි
එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 26 වනදා කැඳවන ලෙසයි.
හියුමන් ඉමියුනොග්ලොබියුලින් සහ රිටොක්සිමැබ් නැමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 13 ක් එල්ල කර තිබෙනවා.
මෙම නඩුවට අදාළව සාක්ෂිකරුවන් 350 දෙනෙකු පමණ නම් කර තිබෙන අතර නඩු භාණ්ඩ තුන්සියයකට ආසන්න සංඛ්‍යාවක්ද ඉදිරිපත් කර තිබෙනවා.
එම සාක්ෂිකරුවන් අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ, විජයදාස රාජපක්ෂ, නිමල් සිරිපාල සිල්වා මහතා යන හිටපු කැබිනට අමාත්‍යවරු ද ඇතුළත්ව සිටිනවා.




