බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් වාර්තාගත ජයග්‍රහණයක් අත්කර ගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් වුණා.

ඒ, සිය දෙවන ඉනිමේදී ලකුණු 204ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් ඉනිම ලකුණු 27කට සිමා කරමින්.

ජමෙයිකාවේ කිංග්ස්ටන්හි සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟයේ පළමු ඉනිම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 225ක් රැස් කළ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම රැස් කළේ ලකුණු 143ක් පමණයි.

කෙසේවෙතත් තරඟය පිළිබඳ යළි බලාපොරොත්තු ඇති කරමින් ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම ලකුණු 121කට සීමා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

එහෙත් ලකුණු 204ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන්ගේ බලාපොරොත්තු සුන් කර දැමූ මිචෙල් ස්ටක් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු බලඇණිය කොදෙව් කණ්ඩායම ලකුණු 27කට සීමා කළේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කිසියම් කණ්ඩායමක් එක් ඉනිමකදී දැවී ගිය අඩුම ලකුණු අතර දෙවන ස්ථානයට කොදෙව් කණ්ඩායම ඇද දමමින්.

එහිදී කොදෙව් පිතිකරුවන් 07 දෙනෙකුම ලකුණු නොලබා දැවී යාම විශේෂිත සිදුවීමක් වුණා.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායම වන්නේ 1955 වසරේදී එංගලන්තයට එරෙහි තරඟයකදී ලකුණු 26කට දැවී ගිය නවසීලන්ත කණ්ඩායමයි.

ඒ අනුව කොදෙව් කණ්ඩායම මෙම තරඟයේදී ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායම ලෙස නවසීලන්තය හා සම තැනට පත් වීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේ එක් ලකුණකින්.

කොදෙව් ඉනිම සුනු විසුනු කල මිචෙල් ස්ටක් ලකුණු 09කට කඩුලු 06ක් දවා ගැනීමට සමත් වුණා.

මෙම තරඟය මිචෙල් ස්ටක් ක්‍රීඩා කළ සිය වන ටෙස්ට් තරඟය වන අතර එහිදී ඔහු ටෙස්ට් කඩුලු 400 කඩයිම පසුකර යාමද විශේෂත්වයක්.

මිචෙල් ස්ටක්ට අනගි සහයක් ලබා දුන් ස්කොට් බෝලන්ඩ් ලකුණු දෙකකට කඩුලු 03ක් දවා ගත්තා.

එහිදී ජස්ටින් ග්‍රීව්ස්, ෂමර් ජෝසප් සහ ජොමෙල් වොරිකන්ගේ කඩුලු තුන පිට පිට පන්දු තුනකදී දවාගත් ස්කොට් බොලන්ඩ් කඩුලු ත්‍රිත්වයක්ද සිය වාර්තා අතරට එක් කර ගැනීම මෙහිදී සිදුවූ තවත් විශේෂිත සිදුවීමක්.

මෙම ජයග්‍රහණයත් සමග තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තුනට බින්දුවක් ලෙස ජය ගැනිමටද ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සමත් වුණා.