කතරගම කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වන කොඹවක ධම්මින්ද ස්වාමීන් වහන්සේගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බවට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වන පුවතක් පිළිබඳ පොලිසිය අද කරුණු පැහැදිලි කළා.

ඒ, මාතර සහ හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වාර්තාවක් යොමු කරමින්.

එම වාර්තාව අනුව කතරගම මහා දේවාල පරිශ්‍රය තුළ, අෂ්ඨඵල බෝධීන් වහන්සේ මෙන්ම කතරගම කිරිවෙහෙර සහ අනෙකුත් දේවාල පිහිටා ඇති අතර මෙම පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා පැය 24ම ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 16 දෙනෙකු හා සිවිල් ආරක්ෂක බළකා නිලධාරියෙකුද යොදවා තිබෙනවා.

කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේගේ ආරක්ෂාව සඳහා 2018 වර්ෂයේ සිට දේවාල මුරපොළ වෙත අනුයුක්ත කර සිටින නිලධාරීන් 17 දෙනෙකුගෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැය 24ම ආවරණය වන පරිදි රාජකාරි යොදවා ඇති බවටයි එමඟින් දන්වා ඇත්තේ.

මීට අමතරව කතරගම දේවාල පරිශ්‍රය තුළ යුද හමුදා අනුකණ්ඩයක් ස්ථාපිත කර ඇති අතර එම යුද හමුදා අනුකණ්ඩයෙන්ද කතරගම කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාව සඳහා යොදවනු ලබන බවද එම වාර්තාවේ සඳහන්.

ඒ අනුව, කතරගම කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වන කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාව හෝ පුදබිමෙහි ආරක්ෂාව ඉවත් කර ඇති බවට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අසත්‍ය පුවතක් බවයි නියෝජ්‍ය පොලිස්පති මාතර සහ හම්බන්තොට දිසාව විසින් වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.