කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වුණු දුම්රියේ අද අලුයම වන අලියෙකු ගැටී තිබෙනවා.

අනතුරෙන් වන අලියා මියගොස් ඇති අතර අලුයම 5:30ට පමණ ගල්ලෑල්ල සුදුනෙළුම් ගම ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇත්තේ.

ප්‍රදේශවාසියෙකු සඳහන් කළේ මෙම වන අලියා ප්‍රදේශයේ වී ගබඩාවලට පහරදී වී ආහාරයට ගන්නා බවත්, අද අලුයම තුනේ සිට මෙම ගම්මානයේ වන අලියා සැරිසරමින් සිටි බවයි.

වන අලියා ගමට පැමිණි මොහොතේ වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම්දීමට ගම්වාසීන් පියවර ගෙන තිබුණත්, එම නිලධාරීන් දුරකථන විසන්ධි කර තිබූ බවටද ගම්වාසීන් චෝදනා කරනවා.

මෙම අලියා නිරන්තරයෙන් ගම්වදින බවත් ඒ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව නිසි ක්‍රියාමාර්ගයක් ගත්තේ නම් මෙවැනි විපතක් සිදු නොවන බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ.

වනජීවී නිලධාරීන් සඳහන් කළේ මෙලෙස මියගොස් ඇති අලියා වයස අවුරුදු 15ක් පමණ වන උස අඩි 8ක පමණ සත්ත්වයකු බවයි.