අයගම පොලිස් වසමේ කොළඹෑව ප්‍රදේශයේ කාන්තාවකට හා ඇයගේ වයස අවුරුදු 16 ක් වූ දරුවෙකුට ඊයේ රාත්‍රී කාලයේ ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ හේතුවෙන් බරපතල තුවාල ලබා සිටි කාන්තාව සහ දරුවා අයගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කාන්තාව මියගිය බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

මියගිය කාන්තාව වයස අවුරුදු 40 ක් වූ කොළඹෑව, ගවරගිරිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වනවා.

අසල්වැසියන් පිරිසක් සමඟ ඇතිවූ පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදු කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අයගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.