ගම්පහ, දිවුලපිටිය, මිනුවන්ගොඩ, අලව්ව, කටාන, මීරිගම ඇතුළු ප්‍රදේශ රැසක ජනතාවට අධි අවදානම් ගංවතුරක් තත්ත්වයක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.
ඒ, මෙම ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව පැති දෙකකින් ජල ගැලීම් අවදානමකට මුහුණ පෑමත් සමගයි.
මහ ඔය හා අත්තනගලු ඔය ජල මට්ටම තවදුරටත් ඉහල යමින් පැවතීම ඊට හේතුව බවටයි ප්‍රකාශ කෙරෙන්නේ.
මේ අතරින් වඩාත් අවදානම් තත්ත්වයට පත්ව සිටින්නේ මහ ඔය නිම්නයේ පහත්බිම්වල වෙසෙන ජනතාවයි.
මහ ඔය නිම්නයේ පහත්බිම්වලට මෑත ඉතිහාසයේ ඇති නොවුණු මට්ටමේ අධි අවදානම් ගංවතුරක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබෙනවා.
ඒ, මහ ඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය 24ක කාලය තුළ දැඩි වර්ෂාපතනයක් ඇද හැලීම හේතුවෙන්.
මේ හේතුවෙන් ගිරිඋල්ල සහ බඩල්ගම මිනුම් මධ්‍යස්ථානවලට අති දැවැන්ත ජල මට්ටමකට ළඟා වී ඇතැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්යක්ෂ එල් එස් සූරියබණ්ඩාර මහතා මෙලෙස අදහස් දැක්වූවා.
මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලු ඔය ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එහි බලධාරීන් පවසන්නේ ඊයේ දිනය තුළ දූනමලෙයි ප්‍රදේශයට ඉහළ ස්ථානවලට මිලි මීටර් 300කට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.
මේ වනවිට දූනමලෙයි ජල මිනුම් මධ්‍යස්ථානය උපරිම ස්ථානයට පැමිණ තිබෙනවා.
දූනමලෙයි ජල මිනුම් මධ්‍යස්ථානයත් ජලයෙන් යට වී ඇති බවටයි මේ වන විට වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පහළ ප්‍රදේශය හා ගම්පහ නගරය මෙන්ම වත්තල, ජාඇළ වැනි ප්‍රදේශ තවදුරටත් ජලයෙන් යටවෙමින් තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ගංඟා ද්‍රෝණි කිහිපයක මේ වනවිට බරපතළ ගංවතුර තත්ත්වයක් පවතින බවයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරි මාර්ග අධ්‍යක්ෂක ජල කළමනාකරණ ඉංජිනේරු එච් එම් පී එස් ඩී හේරත් මහතා ජලාශ සම්බන්ධයෙන් පවතින තත්ත්වය පැහැදිලි කළේ මෙලෙසයි.
මේ අතර, ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්ත වලට අනුව වැඩිම වර්ෂාපතනයක් ඇද හැලී ඇත්තේ මහනුවර, නිල්ලඹේ ප්‍රදේශයට බවයි වාර්තා වන්නේ.
එහි අගය මිලි මීටර් 431ක් බවටද පැවසෙනවා.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ඩොතෙලෝයා වතුයායට මිලි මීටර් 277.8ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පොක්කනායි ප්‍රදේශයට මිලි මීටර් 274ක්, මහනුවර දිස්ත්‍රික්කයේ මැණික්දිවෙල ප්‍රදේශයට මිලි මීටර් 266.2ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ වල්පොලකන්ද ප්‍රදේශයට වන අතර එහි අගය මිලි මීටර් 247.8ක්.
කෑගල්ල දිස්ත්‍රික්කය වැඩිම වර්ෂාපතනය අරනායක ප්‍රදේශයට ලැබී ඇති අතර එහි අගය මිලි මීටර් 240.6ක් වනවා.
නුවරඑළිය දිස්ත්‍රික්කය වර්ෂාපතනය ලැබී ඇත්තේ වටවල ප්රදේශයටයි. එහි අගය මිලි මීටර් 202.8ක්.




