ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහා පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භ කර ඇති පූර්ණ විමර්ශනයට අදාළව සීසීටීවී දර්ශන ලබා ගැනීමට ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය අද ගල්කිස්ස මූලස්ථාන පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

මේ අතර ගල්කිස්ස අධිකරණයේදී නීතිඥවරයෙකුට පහර දුන් අදාළ පොලිස් නිලධාරියා හෙට දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

එම අධිකරණ භූමියෙන් නීතිඥවරයෙකුගේ මෝටර් රථයක් පිටතට ගැනීමේදී ඇතිවූ සිද්ධියක් මුල් කර ගනිමින් අදාළ පොලිස් නිලධාරියා විසින් නීතිඥවරයාට පහර දුන් බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සිද්ධිය වූ අවස්ථාවේ ගල්කිස්ස අධිකරණ භූමියේ සිටි පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශද සටහන් කරගත් බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර ගල්කිස්ස අධිකරණ භූමිය තුළ සිදු වූ මෙම පහරදීමේ සිදුවීමට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් නිලධාරියා වෙනුවෙන් හෙට දිනයේ රජයේ නීතිඥවරයෙකු පෙනී සිටින බව පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය නිසි ආකාරයෙන් ක්‍රියා කළේ දැයි සෙවීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාර දී ඇති බවද ඔහු පැවසුවා.