අනුරාධපුර ගල්කුලම ඉන්දන පිරවුම් හල අසලදී රිවෝල්වර වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබා පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වාහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජව ජයසූරිය මහතා තිරප්පනේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සරත් කුමාරසිංහ මහතාට නියෝග කර තිබෙනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද තවදුරටත් නියෝග කෙරුණා.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කලේ මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසියේ ස්ථනාධිපති ප්‍රධාන පොලිස් පරික්ශක සරත් කුමාරසිංහ සහ සැරයන් එදිරිසිංහ යන මහත්වරුන් අධිකරණයට කල කරුණු දැක්වීමක් සැළකිල්ලට ගනිමිනි.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ යාපනය ඒ නවය මාර්ගයේ ගල්කුලම ප්‍රදේශයේදී සිදු කල වෙඩි තැබීමකින් ගල්කුලම සියඔලාගස්වැව පදිංචිකරුවෙකු වන පසිදු ජීවන් දිසානායක නැමැත්තෙකු බරපතල තුවාල ලබා ඇති බවයි.

තුවාලකරු දැනට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවද අධිකරණයට දැනුම් දුන් පොලිසිය වෙඩි තැබීම සිදු කර ඇත්තේ රිවෝල්වර වර්ගයේ පිස්තොලයකින් බවට සැක කරන්නේ යැයිද වැඩි දුරටත් පවසා තිබෙනවා.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකු මෙතෙක් අත් අඩංගුවට ගෙන නැති බවද අධිකරණයට දන්වා සිට්යා.

පොලිසිය සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදාවා ඇති බවද දැනුම් දී තිබෙනවා.

තිරප්පනේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සරත් කුමාරසිංහ මහතාගේ පූර්ණ මෙහෙයවීම මත සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.